477. ගිරිපුනනාගිය ස්ථවිරාවදානය
4996. එ කල්හි සෝභිත නම් සම්බුදුරජ තෙම චිත්‍රකූට පර්‍වතයෙහි වැඩ විසී ය. මම ගිරිපුන්නාගපුෂ්පයක් ගෙණ බුදුරජුන් පිදීමි.
4997. මෙයින් සිවුඅනූ වන කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
4998. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
4999. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5000. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් ගිරිපුනනාගිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ගිරිපුන්නාගීයස්ථවිරාවදානය සත්වැනි යි.
478. වල්ලිකාරඵලදායක ස්ථවිරාවදානය
5001. එකල්හි සුමනා නම් සම්බුදුරජ තෙම තක්කරා රාජධානියෙහි වැඩ විසී ය. මම සියල්ල දත් බුදුරජානන් වහන්සේට වල්ලිකාර ඵලයක් ගෙන දුනිමි.
5002. මෙයින් එක්තිස් වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
5003. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5004. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5005. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් වල්ලිකාරඵලදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වල්ලිකාරඵලදායක ස්ථවිරාවදානය අටවැනි යි.
479. පානධිදායක ස්ථවිරාවදානය
5006. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති අනෝමදස්සී බුදුරජ තෙමේ දිවාවිහරණයෙන් නික්ම මාර්‍ගයට පිළිපන්නේ ය.
5007. මම මැනවින් කරණ ලද පාවහන් (යුවලක්) ගෙන මාර්‍ගයට පිළිපන්නෙමි. එහිදී මනෝඥවූ දර්‍ශන ඇති පාගමනින් වඩින්නා වූ සම්බුදු රජුන් දුටුයෙමි.
5008. සිය සිත පහදවා පාවහන් (යුවල) බැහැරට ගෙන (බුදුරජුන්ගේ) පාමුල තබා මේ වචනය කීමි:
5009. විනායකයාණන් වහන්ස, සුගතෙන්‍ද්‍රයාණන් වහන්ස, මහාවීරයාණන් වහන්ස, (මේ පාවහන්යුවලට) නැංග මැනැව. මෙයින් යම් විපාකයක් ලබන්නෙම් ද, (ඉන්) මාගේ යම් අභිමතාර්‍ත්‍ථයෙක් වේ නම් එය සමෘද්ධ වේ වා.