458. ජාතිපුප්ඵිය ස්ථවිරාවදානය
4845. මහත් යශස් ඇති පදුමුත්තර බුදුරජුන් පිරිනිවි කල්හි මම දෑසමන්මලින් මුදුන්මල්කඩක් කොට බුද්ධදේහයට පිදීමි.
4846. මම එහි සිත පහදවා නිර්‍මාණරතී දෙව්ලොවට ගියෙමි. මම දෙව්ලොවට ගියෙම් ඒ පින්කම සිහිකරමි.
4847. හැම කල්හි මට අහසින් මල්වැසි වසී. ඉදින් මිනිස් ලොවෙහි සැරිසරම් නම් මහත් යශස් ඇති රජෙක් වෙමි.
4848. සර්‍වදර්ශී වූ බුදුරජුන්හට කරණ ලද එම පුෂ්පපූජාවෙහි ම බලයෙන් එහි (=මිනිස්ලොවෙහි) ද මට මල්වැසි වසී.
4849. මේ මාගේ පශ්චිමභවය යි. මේ අන්තිමභවය පවතී. අද ද හැම කල්හි මට මල්වැසි වසී.
4850. මෙයින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුබඳ පිදීමෙහි මේ විපාක යි.
4851. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4852. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යායෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4853. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ජාතිපුප්ඵියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජාතිපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.
459. පටටිපුප්ඵිය ස්ථවිරාවදානය
4854. බෙර වයද්දී ශරීරය (ආදාහනය සඳහා) ගෙණ යන කල්හි මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් රත්ලොත්මල් පිදීමි.
4855. මෙයින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දේහපූජාවෙහි මේ විපාක යි.
4856. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4857. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යායෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4858. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පට්ටිපුප්ඵියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පට්ටිපුප්ඵියස්ථවිරාවදානය නවවැනි යි.