457. ඒකඡත්තිය ස්ථවිරාවදානය
4833. පෘථිවී තොමෝ අඟුරු වී ය. මහී තොමෝ උණුඅළු සහිත වී ය. පදුමුත්තර බුදුරජ තෙමේ එළිමහනෙහි සක්මන් කළේ ය.
4834. මම සේසත ගෙණ මඟට පිළිපන්නෙමි. එහි සම්බුදුරජුන් දැක මට ප්‍රීතිය ඇති විය.
4835. භූමිතොමෝ මිරිඟුවෙන් වැසුනී ය. මේ පෘථිවිය (දිලිසෙන) අඟුරු මෙනි. සිරුරෙහි පණ නසන්නා වූ මහාවාතයෝ ද හමත්.
4836. ශීතය හා උෂ්ණය නසන්නා වූ වාතය හා අව්ව වළහන්නා වූ මේ ඡත්‍රය පිළිගනු මැනව. මම ඒ හේතුවෙන් නිවන් ලබන්නෙමි“යි ඡත්‍රය පිළිගැන්වී ය.
4837. එකල්හි (ලෝකයා කෙරෙහි) අනුකම්පා ඇති කාරුණික වු මහර්ෂී වූ පදුමුත්තර බුදුරජතෙමේ මාගේ අදහස දැන එය පිළිගත්තේ ය.
4838. තිස්කපක් මුළුල්ලෙහි දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සියවරක් සක්විතිරජ වීමි.
4839. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය. පෙර තමා විසින් මැනවින් කළ ස්වකීය පුණ්‍යකර්‍මය (විපාකය) අනුභව කරමි.
4840. මාගේ මේ පශ්චිමආත්මය යි. මේ අන්තිමභවය පවති. අදත් මට හැමකල්හි සේසතක් දැරෙයි.
4841. එකල්හි මෙයින් සියක්දහස් වන කපෙහි යම් ඡත්‍රදානයක් දුනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඡත්‍රදානයාගේ මේ විපාකය යි.
4842. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4843. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4844. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඒකඡත්තිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
ඒකඡත්තියස්ථවිරාවදානය සත්වැනි යි.
458. ජාතිපුප්ඵිය ස්ථවිරාවදානය
4845. මහත් යශස් ඇති පදුමුත්තර බුදුරජුන් පිරිනිවි කල්හි මම දෑසමන්මලින් මුදුන්මල්කඩක් කොට බුද්ධදේහයට පිදීමි.
4846. මම එහි සිත පහදවා නිර්‍මාණරතී දෙව්ලොවට ගියෙමි. මම දෙව්ලොවට ගියෙම් ඒ පින්කම සිහිකරමි.