446. අම්බාටකිය ස්ථවිරාවදානය
4752. වෙස්සභූ බුදුරජ තෙම මැනවින් පිපී ගිය සල්වනයකට පිවිස ගිරිදුර්‍ගයන් හි විශිෂ්ටජන්ම ඇති සිංහරාජයකු මෙන් වැඩහුන්නේ ය.
4753. පුණ්‍යක්‍ෂේත්‍ර වූ මහාවීර (උන්වහන්සේ දැක) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සියතින් ඇඹරැල්ල පිදීමි.
4754. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
4755. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4756. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4757. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අම්බාටකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බාටකියස්ථවිරාවදානය සවැනියි.
447. සීහාසනික ස්ථවිරාවදානය
4758. මම සවුසත්නට හිත කැමැත්තා වූ පදුමුත්තර බුදුරජුන්හට පහන්සිත් ඇත්තෙම්, සොම්නස් වූයෙම්, සිහසුනක් දුනිමි.
4759. මම දෙව් ලොවැ වේවයි මිනිස්ලොවැ වේවයි යම් යම් තැනක වෙසෙම් නම් මහත් වූ විමනක් ලබමි. සිහසුන් දනෙහි මේ විපාකයි.
4760. ස්වර්‍ණමය වූ ද, රජතමය වූ ද, පද්මරාගමාණික්‍යමය වූ ද, මණිමයවූ ද බොහෝ පර්‍ය්‍යඞ්කයෝ මට හැම කල්හි පහළ වෙත්.
4761. පදුමුත්තර නම් බුදුරජුන්ගේ බෝධියට අසුනක් කොට උසස් කුලයෙහි උපදිමි. ධර්‍මයාගේ යහපත් බව ආශ්චර්‍ය්‍යයෙකි.
4762. මම මෙයින් සියක් දහස්වන කපෙහි සිහසුනක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිහසුන් දනෙහි මේ විපාකයි.
4763. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4764. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4765. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සීහාසනික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සීහාසනික ස්ථවිරාවදානය සත්වැනියි.
448. පාදපීඨිය ස්ථවිරාවදානය
4766. අග්‍ර වූ කාරුණික වූ මෝනෙය්‍යගුණ ඇති මහත් යශස් ඇති ඒ සුමේධ නම් සර්‍වඥ තෙම බොහෝ සත්ත්‍වයන් (සසරසයුරින්) එතෙර කරවා පිරිනිවන් පෑය.
4767. සුමේධ බුදුරජුන්ගේ සිහසුන් සමීපයෙහි පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පාපුටුවක් කෙළෙමි.
4768. සැපවිපාක ඇති සුව ගෙණ දෙන්නා වූ කුශලකර්‍මය කොට මම ඒ කුශලකර්‍මය හා යෙදුනෙම් තවිතිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4769. පුණ්‍යකර්‍මයෙන් සමන්‍වාගත එහි වසන්නා වූ මට පියවර ඔසවත් ම ස්වර්‍ණමය (පාද) පීඨයෝ පහළ වෙත්.
4770. යමෙක් බුදුරජුන්ගේ හමුයෙහි සිට දහම් ඇසීම ලබත් නම් ඔවුන්හට එය ලාභයෙකි. පිරිනිවි කල්හි ද (උන්වහන්සේ කෙරෙහි) සත්කාර කොට මහත් වූ සැප ලබත්.