439. අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය
4701. එකල්හි මම රාජවාහන යෝග්‍ය වූ උඩුකුරුව දික් ව වැඩුනු දළ ඇති ඇත් රජෙක් වීමි. මහ වෙනෙහි ඇවිදින්නෙම් ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
4702. මම අඹ ගෙඩියක් ගෙණ ශාස්තෲන් වහන්සේට දුනිමි. මහා වීර වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ එය පිළිගත් සේක.
4703. එකල්හි සර්‍වඥ තෙම මා බලා සිටිය දී එය වැළඳීය. මම විමසුම් නුවණින් එහි සිත පහදවා තුෂිත දිව්‍යලෝකයෙහි උපනිමි.
4704. මම එයින් ච්‍යුත ව සක්විතිරජ වීමි. මේ ක්‍රමයෙන් ම සම්පත් අනුභව කොට,
4705. වඩනා ලද වීර්‍ය්‍යය ඇති මම උපශාන්ත වූයෙමි. උපධි රහිත වූයෙමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන ආස්‍රව රහිත ව වෙසෙමි.
4706. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
4707. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4708. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4709. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අම්බපිණ්ඩිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය නව වැනියි.
440. ජමබුඵලිය ස්ථවිරාවදානය
4710. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති පිඬුපිණිස හැසිරෙන්නා වූ උතුම් යශස්ධර වූ පදුමුත්තර බුදුරජුන් හට,
4711. මම අග්‍ර වූ (-පළමුවෙන් හැදුනු) දඹ ඵලයක් ගෙණ පහන් සිතින් දක්‍ෂිණාර්‍හ වූ වීර වූ ශාස්තෲන් වහන්සේට දුනිමි.
4712. ලෝකජ්‍යේෂ්ඨ නරශ්‍රේෂ්ඨ ද්විපදෝත්තමයන් වහන්ස, මම ඒ කර්‍මය හේතුකොටගෙන ජය පරාජය හැර අචලස්ථානය වූ නිවනට පැමිණියෙම් වෙමි.
4713. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි වූ යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අග්‍රඵල දානයාගේ මේ විපාක යි.
4714. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4715. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4716. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ජමබුඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජමබුඵලිය ස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
ඒකවිහාරී සඞ්ඛිය පාටිහීරක
ථවික උච්ඡුඛණ්ඩි කලම්ඛ අම්බාටක ද,
හරීතක අම්බපිණ්ඩි ජම්බුද දැයි දසයෙකි.
ස අසූගයක් පඬුවන් මෙහි ගිණූ.
ඒකවිහාරීවර්‍ගය සූසාළිස් වැනියි.