428. සුචින්තිත ස්ථවිරාවදානය
4567. එකල්හි මම හංසවතී නගරයෙහි ගොවියෙක් වීමි. කෘෂිකර්‍මයෙන් ජීවත් වෙමි. එයින් අඹුදරුවන් පෝෂණය කරමි.
4568. එකල්හි කෙත මැනැවින් සමෘද්ධ ය. මාගේ ධාන්‍යය ද ඵල දැරිණි. ශස්‍ය පස්නා දවස් පැමිණි කල්හි මම මෙසේ සිතීමි.
4569. “යම් බඳු වූ මම ඉදින් අග්‍රශස්‍යය සඞ්ඝයාට නො දී වළදන්නෙම් නම්, එකල්හි ගුණ-අගුණ දන්නා වූ මා වැනියනට එය නුසුදුසු ය. නො හොබනේ ය.
4570. මේ දෙතිස්මහපුරිස්ලකුණෙන් හෙබි අසමසම බුදුරජ තෙමේ ය. නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝ තෙම එයින් (-එම බුදුරජුන්ගෙන්) ප්‍රභූත වීය.
4571. මම පළමු පළමුව එම සඞ්ඝයා කෙරෙහි නවශස්‍යදානය දෙමි. මම මෙසේ සිතා සතුටු වූයෙම් පිනා ගිය සිත් ඇත්තෙම් ද (වීමි).
4572. කෙතින් ධාන්‍ය ගෙණවුත් බුදුරජුන් වෙත එළඹියෙමි. නරශ්‍රේෂ්ඨ වූ ලෝකජ්‍යේෂ්ඨ වූ සම්බුදුරජුන් වෙත එළඹ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ මෙම වචනය කීමි.
4573. “නවශස්‍යය ද සමෘද්ධ විය. මුනීන්වහන්ස, දක්‍ෂිණාර්‍හයන් වහන්සේ ද ඔබ වෙහි ය. පසැස් ඇත්තානන් වහන්ස, අනුකම්පාව උපදවා මෙය ඉවසා වදාළ මැනව.”
4574. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ අදහස දැන මෙම වචනය කීය:
4575. ප්‍රතිපන්නයෝ (මාර්‍ගස්ථ) සිවු දෙනෙකි. (සෝවන් ඈ සිවු) පෙළෙහි සිටියෝ සිවු දෙනෙකි. මේ ප්‍රඥාශීලයෙන් යුත් ඍජු භුත සඞ්ඝයා යි.
4576. පින් කැමැත්තා වූ භවසම්පත් දෙන ඔපධික පුණ්‍යකර්‍ම කරන්නා වූ දන් දෙන මිනිසුන්හට සඞ්ඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේ.
4577. ඒ සඞ්ඝයා කෙරෙහි පිදිය යුතු වූ නවශස්‍ය ද එසේ ම එයින් අධික් තවත් දැය ද සඟුන් උදෙසා භික්‍ෂූන් සිය ගෙදොරට වැඩමවා (තමන් විසින්) ගෘහයෙහි යමක් පිළියෙළ කරණ ලද නම් එය තෙපි භික්‍ෂුසඞ්ඝයාට දෙව.”
4578. මම සඟුන් උදෙසා භික්‍ෂූන් (සිය) ගෙද්‍රෙරට වැඩමවා මා විසින් ගෘහයෙහි යමක් පිළියෙළ කරණ ලද නම් (එය) භික්‍ෂු සඞ්ඝයාට දුනිමි.
4579. මැනැවින් කරණ ලද එම කර්‍මය හේතුකොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4580. එහි මැනැවින් කරණ ලද මාගේ විමානය ස්වර්‍ණවර්‍ණ ය. ප්‍රභා සහිත ය. සැට යොදුන් උස් ය. තිස්යොදුන් පුළුල් ය.
(එකුන්විසිවැනි බණවර යි.)
4581. මාගේ භවනය ආකීර්‍ණ ය. දිව්‍යස්ත්‍රී සමූහයාගෙන් ගැවසී ගත්තේ ය. මම ඒ තිදසෙහි කා-බී වසමි.
4582. මම තුන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විතිරජ වීමි. (ලබන ලද) ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
4583. කුදුමහත් භවයෙහි සැරිසරන්නෙම් අපමණ ධනය ලබමි. මාගේ භෝගයෙහි අඩු බවෙක් නැත. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4584. හස්තියාන ය, අශ්වයාන ය, සිවිකා ය, පල්ලැක්කි ය, යන මේ සියල්ල ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4585. අභිනව වස්ත්‍ර ද අභිනව ඵල ද අභිනව වූ අග්‍රරසභෝජන ද යන මේ සියල්ල ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4586. කෝසෙය්‍ය ය, කම්බල ය, ඛොම (කොමු) ය, කප්පාසික (-කපු) ය, යන මේ සියලු වස්ත්‍රවිශේෂ ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4587. ද්‍රසී සමූහයා ද, ද්‍රසසමූහයා ද, අබරණින් සරසන ලද ස්ත්‍රීහු ද යන මේ සියල්ල ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4588. මට ශීතය හෝ උෂ්ණය හෝ දැවීමක් හෝ නැත. යලි මාගේ හෘදයයෙහි චෛතසික දුකකුදු නැත.
4589. “මෙය කව, මෙය අනුභව කරව, මෙම සයනයෙහි සැතපෙව” යන මේ (මිහිරි වචන) සියල්ල ම ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.