426. ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය
4539. (සිවුසස් දහම් පිළිබඳව) මැනැවින් සිතූ ලෝක ජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වු මහවනයට පිවිසියා වූ වාතාබාධයකින් පෙළුනා වූ බුදුරජුන් දැක සිත පහදවා (ඉතා පිරිසිදු) ගිතෙල් මණ්ඩයක් පිළිගැන්වීමි.
4540. (මෙම පුණ්‍ය කර්‍මය) කරණ ලද බැවින් රැස්කරන ලද බැවින් මේ නාගිරථි නදිය ද සිවුමහ මුහුදු ද මට ගිතෙල් සපයති.
4541. මේ ඝෝර වූ අප්‍රමාණ වූ අසංඛ්‍ය වූ පෘථිවිය ද මාගේ අදහස දැන මීසකුරු බවට පත් වේ.
4542. සිවුමහදිවයිනෙහි පොළොවෙහි වැඩුනු මේ සියලු වෘක්‍ෂ පාදපයෝ (වෙත්ද) එ හැම මාගේ අදහස දැන කල්පවෘක්‍ෂයෝ වෙත්.
4543. මම පණස් වරක් දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරවීමි. එක් පණස් වරක් සක්විතිරජ වීමි. (ලබන ලද ) මහත් වූ ප්‍රදේශරාජ්‍යය මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
4544. එකල්හි මෙයින් සිවු අනූවන කපෙහි යම් (ගිතෙල්) දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගිතෙල් මණ්ඩදානයාගේ මේ විපාක යි.
4545. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4546. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4547. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඝතමණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය සවැනි යි.
427. ඒකධම්මසවණිය ස්ථවිරාවදානය
4548. සියලු ධර්‍මයන්හි පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජ තෙමේ සිවුසස් පවසමින් බොහෝ දෙනා (සසරසයුරින්) එතෙර කරවී ය.
4549. එසමයෙහි මම උග්‍රතපස් ඇති ජටාධරයෙක් (තවුසෙක්) වීමි. වැහැරිසිවුරු සලමින් අහසෙහි යමි.
4550. එකල්හි මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ (හිස) මතුයෙහි යන්නට නො සමත් වෙමි. මම ශෛලපර්‍වතයට පැමිණ පක්‍ෂියකු මෙන් ගමන් නො ලබමි.
4551. (පෙර) දියෙහි මෙන් කිමිද මෙසේ අහසෙහි යමි. මාගේ මේ ඉරියාපථ විකෝපනය (ඉරියවු වැරදීම) පෙර නො වූ විරූ ය.
4552. “ඒකාන්තයෙන් මෙය පිරික්සා බලන්නෙමි. අර්‍ත්‍ථයක් ලබන්නෙම් නම් ඉතා යෙහෙකැ” යි (සිතා) අහසින් බසින්නෙම් බුදුරජුන්ගේ ශබ්දය ඇසීමි.