416. ඒකදීපිය ස්ථවිරාවදානය
4391. ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි සියලු දිව්‍යමනුෂ්‍යයෝ බුදුරජුන්හට පූජා කෙරෙත්.
4392. සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්ගේ (දේහය) චිතකයට නැගූ කල්හි සියල්ලෝ තමන්ට හැකි පමණින් ශාස්තෲන් වහන්සේගේ චිතකය පුදත්.
4393. මම් ඒ චිතකයට නුදුරෙහි පහනක් දැල්වීමි. මාගේ පහන හිරු උදාවන තුරු ම දැල්වුනේ ය.
4394. මම මැනවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4395. එහි මට කරණ ලද (=මැවුනු) විමානය “එකදීපී” යි කියනු ලැබේ. මාගේ විමනෙහි දස දහසක් ප්‍රදීපයෝ දැල්වෙත්.
4396. හැම කල්හි මාගේ සිරුර උදාවන හිරු මෙන් බබලයි. මාගේ ශරීරප්‍රභා කරණ කොට ගෙණ හැම කල්හි ආලොකය වේ.
4397. මම පවුරු සරස ද, ගල් සරස ද, පර්‍වත ද සම්පූර්‍ණයෙන් විනිවිද සියැසින් හාත්පස යොදුන් සියයක් දකිමි.
4398. මම සත්සැත්තෑ වරක් දෙව්ලොවෙහි සිත් අලවා විසීමි. එක්තිස්වරක් දිව්‍ය රාජ්‍යය කෙළෙමි.
4399. මම අටවිසි වරක් සක්විතිරජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි යි.
4400. දෙව්ලොවින් චුතව මවුකුසෙහි උපන්මි. මවුකුසට පැමිණියාවූ ද මාගේ ඇස් නො පිය වේ. (=ඇසිපිය නො වැටේ.)
4401. උත්පත්තියෙන් සිවුවස් වූ මම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. (පැවිදිව) අඩ මසක් පිරෙන්නට පෙර රහත්බවට පැමිණියෙමි.
4402. දිවැස පිරිසිදු කෙළෙමි. සියලු භවයෝ නසන ලදහ. සියලු ක්ලේශයෝ සිඳින ලදහ. එක පහනක් පිදීමෙහි මේ විපාක යි.
4403. පවුරු සරස ද ගල් සරස ද හුදු පර්‍වතය ද, විනිවිද දකිමි. එක පහනක් පිදීමෙහි මේ විපාක යි.
4404. මට විෂමස්ථානයෝ සම වෙති. අඳුරක් නො මැත. මම ඝනාන්‍ධකාරයක් නො දකිමි. එක පහනක් පිදීමෙහි මේ විපාක යි.
4405. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් පහනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාක යි.
4406. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.
4407. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4408. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මේ අයුරින් ආයුෂ්මත් ඒකදීපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ඒකදීපිය ස්ථවිරාවදානය සවැනි යි.
417. උච්ඡඞ්ගපුප්ඵිය ස්ථවිරාවදානය
4409. මම එකල්හි බන්‍ධුමතී නගරයෙහි මල්කරුවෙක් විමි. මල් උකුළක් (ඔඩොක්කුවක්) පුරවාගෙණ ඇතුළු වීථියට ගියෙමි.
4410. එසමයෙහි ලෝකනායක වූ භාග්‍යවත් තෙමේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලදුයේ මහත් වූ අනුභාවයෙන් මාර්‍ගයෙහි වඩියි.
4411. ලොව බබුළුවන්නා වූ ලෝවැස්සන් සසරින් එතෙර කරන්නා වූ විපස්සී බුදුරජුන් දැක ඔඩොක්කුවෙන් මල් ගෙණ පිදීමි.
4412. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4413. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් පුනර්‍භවයෙක් නැත.
4414. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4415. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මේ අයුරින් ආයුෂ්මත් උච්ඡඞ්ගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
උච්ඡඞ්ගපුප්ඵිය ස්ථවිරාවදානය සත්වැනි යි.