420. මඤ්චදායක ස්ථවිරාවදානය
4449. කාරුණික වූ සිද්ධාර්ත්ථ බුදුරජුන් පිරිනිවි කල්හි දෙවිමිනිසුන් විසින් සත්කාර කරණ ලද (උන්වහන්සේගේ) සසුන පැතිරී යන කල්හි,
4450. මම එහි දික්සඟලාපුටු තනන්නා වූ සැඩොලෙක් වීමි. එම කර්මාන්තයෙන් ජීවත් වෙමි. එයින් අඹුදරු පෝෂණය කරමි.
4451. මම පහන් වූයෙම් සියතින් ම දික්හඟලා පුටුවක් මැනවින් කොට තමන් ම ගොස් භික්ෂුසඞ්ඝයාට දිනිමි.
4452. මැනවින් කරණ ලද කර්මය ද චිත්තප්රණිධීන් ද කරණකොට ගෙණ මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
4453. දෙව්ලොව ගියෙම් තිදස්දෙව්ගණයෙහි සතුටු වෙමි. රිසි සේ මාහැඟි සයනයෝ නිපැයෙත්.
4454. පණස් වරක් දේවේන්ද්ර වූයෙම් දිව්ය රාජ්යය කරවීමි. අසූවරක් සක්විති රජ වීමි.
4455. (ලබන ලද) මහත් වූ ප්රදේශරාජ්යය ගණනින් ගිණිය නො හෙයි. සුඛිත වූයෙම් යශස් ඇත්තෙම් ද වෙමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
4456. ඉදින් දෙව්ලොවින් ච්යුතව මිනිස් ලොවට එම් නම් මට මාහැඟි සයනයෝ තුමූ ම පහළ වෙත්.
4457. මේ මාගේ පශ්චිම වූ අන්තිම භවය පවතී. අදත් හෝනා කල්හි සයනයක් එළඹ සිටී.
4458. එකල්හි මෙයින් සිවු අනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
4459. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4460. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4461. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් මඤ්චදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි
මඤ්චදායක ස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
භද්දාලි ඒකඡත්ත තිණසූල ද මංස ද
නාගපල්ලවික දීපී උච්ඡඞ්ගී යාගුදායක
පත්ථොදනී මඤ්චදද දසවත් ය මෙහි දැක් වූ
දෙසිය එක් ගයකින් එය ගිණූයේ.
නාගපල්ලවික දීපී උච්ඡඞ්ගී යාගුදායක
පත්ථොදනී මඤ්චදද දසවත් ය මෙහි දැක් වූ
දෙසිය එක් ගයකින් එය ගිණූයේ.
භද්දාලිවර්ගය දෙසාළිස් වැනි යි.
43. සකිංසම්මජ්ජක වර්ගය
421. සකිංසම්මජ්ජක ස්ථවිරාවදානය
4462. විපස්සී බුදුරජුන්ගේ උතුම් වූ පාටලී (=පළොල්) බෝධි වෘක්ෂරාජයා දැක එහි සිත පැහැද වීමි.
4463. එකෙණෙහි මම මුස්න ගෙණ බෝ (මළුව) හැමැද්දෙමි. හැමැද ඒ පාටලී බෝධියට වැන්දෙමි.
4464. මම එහි සිත පහදවා හිසෙහි ඇඳිලි බැඳ ඒ බෝධියට (ගෞරවයෙන්) නැමුනෙම් (ඉවත්ව) ගියෙමි.
4465. (මම) උතුම් බෝධිය සිහිකෙරෙමින් අඩිපාරකින් යමි. (එහි දී) මහත් බල ඇති ඝෝර රූප වූ පිඹුරෙක් මා පෙළී ය.