404. ධෝතක ස්ථවිරාවදානය
3962. හිමවතින් ප්රභූත භාගිරථි ගඞ්ගා තොමෝ (ගඞ්ගානදිය) එකල්හි හංසවතී නගරද්වාරයෙන් ගලා බස්නී ය.
3963. ගංඉවුරෙහි මැනවින් කරණ ලද සෝභිත නම් ආරාමයෙක් විය. එහි ලෝකනායක වූ පදුමුත්තර බුදුරජ තෙමේ වැඩ වෙසෙයි.
3964. තව්තිසාවෙහි දෙවියන් සහිත ශක්රයා මෙන් මනුෂ්යයන් විසින් පිරිවරණ ලද භාග්යවත් තෙමේ එහි අභීත කේශරසිංහ රාජයකු මෙන් වැඩහුන්නේ ය.
3965. මම හංසවතී නගරයෙහි බමුණෙක් ව වෙසෙමි. නමින් ඡළඞ්ග නම් වෙමි. එනම් ඇති මහමුනිවරයෙක් වෙමි.
3966. එකල්හි අටළොස් සියක් (-එක්දහස් අටසියයක්) ශිෂ්යයෝ මා පිරිවරත්. ඒ ශිෂ්යයන් විසින් පිරිවරණ ලදුයෙම් ගඞ්ගාතීරයට එළඹියෙමි.
3967. එහි දී කොහොන්කම් විරහිත දොවා හළ පව් ඇති ශ්රමණයන් වහන්සේ දිටිමි. (උන්වහන්සේ) භාගීරථි ගඟ තරණය කරණ කෙණෙහි මම මෙසේ සිතීමි.
3968. “මහත් කීර්ති ඇති මේ බුද්ධපුත්රයෝ සවස්හි ද උදයෙහි ද මේ ගඟ තරණය කරන්නාහු තමන් වෙහෙසට පමුණුවත්. ඔවුන්ගේ ආත්මභාවය පෙළෙයි.
3969. දෙවියන් සහිත ලෝකයා අතුරෙන් බුදුරජ තෙම අග්රයයි කියනු ලැබේ. දක්ෂිණාර්හයන් කෙරෙහි (කළ) සසර ගමන්මග පිරිසිදු කරණ පින්කමකුදු මට නැත.
3970. බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට ගඟෙහි හෙයක් කරන්නෙම් නම් ඉතා මැනැවි. මේ පින්කම කරවා මේ භවය තරණය කරමි යි.
3971. මා විසින් කරණ ලද පින්කම් මහත්ඵල වන්නේ යයි අදහමින් මම ලක්ෂයක් දී හෙයක් කරවීමි.
3972. ඒ හෙය කරවා ලෝකනායක බුදුරජුන් වෙත එළඹියෙමි. සිරසෙහි ඇඳිලි බැඳ මේ වචනය ද කීමි:
3973. “මහාමුනීන් වහන්ස, මා විසින් ලක්ෂයක් වැය කොට ඔබ වහන්සේ උදෙසා මහත් වූ හෙයක් කරවන ලදී. ඒ පිළිගණු මැනව” යී.
3974. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ භික්ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේය:
3975. “යමෙක් පහන් වූයේ සියතින් මට හෙයක් කරවූයේ ද, මම හේ (කවරෙක්දැයි) පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
3976. මෙ තෙම කඳුරකින් (=පර්වතවිවරයකින්) වේවයි පර්වතයකින් වේවයි ගසකින් වේවයි ගිලිහුනේ නමුදු (ඉන්) ගිලිහුනේ ම පිහිට ලබන්නේ ය. සේතුදානයාගේ මේ විපාක යි.
3977. වැඩිගිය මුල්සමූහය ඇති නුගගසක් වාතය බලයෙන් උදුරා නො දමන්නාක් මෙන් පසමිතුරෝ (මොහු) නො මැඩලත්.
3978. මොහුගේ (දෙය) සොරු බලයෙන් පැහැර නො ගනිත්. රජවරු මොහුට අවමන් නො කරත්. සියලු පසමිතුරන් ජය ගන්නේ ය. සේතුදානයාගේ මේ විපාක යි.
3979. එලිමහනකට ගියේ නමුදු දැඩි අව්වෙන් තැවුනේ නමුදු ඒ සේතුදානමය පුණ්යකර්මයෙන් යුත් මොහුට (දුක්) වේදනාවෝ නො වන්නාහු ය.
3980. දෙව්ලොවෙහි හෝ මිනිස්ලොවෙහි හෝ මැනවින් නිර්මිත හස්තියානයක් ඔහුගේ අදහස පරිදි එකෙණෙහි පහළ වන්නේ ය.
3981. වාතවේගයෙන් දුවන ශීඝ්රවාහන වූ දහසක් සෛන්ධවයෝ උදය සවස වෙත එළඹෙන්නාහු ය. සේතුදානයාගේ මේ විපාක යි.
3982. මෙ තෙම මිනිසත්බවට පැමිණ සැපවත් වන්නේ ය. මෙහි මිනිස්කල්හි දු ඔහුට හස්තියානයක් වන්නේ ය.