405. උපසීව ස්ථවිරාවදානය
3990. හිමවතට නුදුරෙහි අනෝම නම් පර්‍වතයෙක් විය. මට එහි මැනැවින් කළ අසපුවෙක් විය. මනා කොට කටයුතු නිම වූ පන්සලක් ද විය.
3991. එහි මනා වූ කුඩා තොටු ඇති මනෝඥ වූ නදියක් ගලා බසී. ඒ කුඩා තොටුවල බොහෝ පද්මොත්පලයෝ හට ගනිත්.
3992. පාඨින නම් මත්ස්‍යයෝ (=පෙටියෝ) ද පාවුස නම් මත්ස්‍යයෝ (=ලූල්ලු) ද වලජ නම් මත්ස්‍යයෝ (=වලයෝ) ද මුඤ්ච නම් මත්ස්‍යයෝ (=මොද්දු) ද රෝහිත නම් මත්ස්‍යයෝ (=රෙහෙරු) ද යන මසුන් හා කැසුබුවන්ගෙන් ගැවසීගත්තා වූ නදිය හැමකල්හි ගලා බසී.
3993. එහි තිමීරය, අසෝකය, ඛුද්දමාලක (කුඩාමල් ඇතිගස්) ය පුන්නාග (දොඹය) ගිරිපුන්නාග (කඳුවල වැවෙන දොඹ) ය යන මේ වෘක්‍ෂයෝ පිපී ගියාහු මාගේ අසපුවෙහි සුවඳ පතුරුවත්.
3994. එහි පිපී ගියා වූ කෙලිඳ වෘක්‍ෂයෝ ද බෝලිද්දවනයෝ ද, සාලවෘක්‍ෂයෝ ද, එසේ ම පිපී ගියා වූ සලල (=හොර) වෘක්‍ෂයෝ ද චම්පක (සපු) වෘක්‍ෂයෝ ද එහි බොහෝ වෙති.
3995. පිපී ගියා වූ කුඹුක් ද යොහොඹු ද උක්ගස් ද, පිපී ගියා වූ පියා ගස් ද, මධුගන්‍ධී වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි බොහෝ වෙති.
3996. ඇසළය පළොල් ය සීනිද්දය පුවඟුය රත්කරව්ය යන මෙකී වෘක්‍ෂයන්ගෙන් මාගේ අසපුව හාත්පස අඩයොදුනක් තන්හි වැසී ගියේ ය.
3997. පිපුණා වූ මාතඞ්ගව නම් වෘක්‍ෂයෝ ද, සත්පෙති දෑසමන් ද පළොල් ද නික ද රුකඟුන ද තාලකූට නම් වෘක්‍ෂයෝ ද එහි බොහෝ වූහ.
3998. මාගේ ඒ අසපුවෙහි පිපුණා වූ ගල්මල් ද බොහෝ ය. මේ වෘක්‍ෂයෝ පිපෙන කල්හි බෙහෙවින් හොබිත්. ඒ සුවඳින් මාගේ අසපුව හාත්පස සුවඳ හමයි.
3999. අරළු, නෙල්ලි, අඹ, ජම්බු, බුළු, ඩෙබර, බදුලු, බෙලි, බොරළුදමුණු යන මේ වෘක්‍ෂයන්ගේ ඵල ද,
4000. තිඹිරි, පියල්, වැල්මී, කාසුමාරිය, දෙල්, කොස්, කෙසෙල්, ඩෙබර යන මොවුන්ගේ ඵලයෝ ද එහි බොහෝ වෙති.
4001. ඇඹරැල්ල, වල්ලිකාර ඵලයෝ ද එහි බොහෝ වෙති. ලප්නාරග, සපාරිය මේ වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි පල ගත්තාහු වෙති.
4002. ආලක, ඉසිමුග්ග (=වනමුං), යලි මෝදඵල යන මොහු එහි බොහෝ වෙති. හාත්පස වූ පුලිල දිඹුල් ද යන මේ වෘක්‍ෂයෝ ඵල භරිත වූවාහු ය.
4003. තිප්පිලි, මිරිස්, නුග, දිවුල්, දිඹුල්, කණ්ඩපක්ක, පාරිය මෙකී වෘක්‍ෂයෝ එහි බොහෝ වෙති.
4004. මේ වෘක්‍ෂයෝ ද තවත් බොහෝ වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි පල ගත්තාහු වෙත්. මාගේ අසපුවෙහි බොහෝ මල් ගස් ද, පිපුනාහු වෙත්.
4005. ආලුව, කළම්බ, බීලාලි, තක්කල, ආලක, තාලක, යන අල දෑ ද මා අසපුවෙහි වෙත්.
4006. මාගේ අසපුවට නුදුරෙහි පැහැදි සිසිල් දිය ඇති මනා තොට ඇති සිත්කලු ස්වයංජාත විලෙක් විය.
4007. සුදුනෙළුම් හා රතුනෙළුම් හා උපුල් එහි බොහෝ ය. මදාරා ගස්වලින් වැසී ගිය තඩාගය නොයෙක් සුවඳ හමයි.