37. ලසුණදායක ස්ථවිරාවදානය
1091. මම එකල්හි හිමවතට නුදුරු තන්හි තවුසෙක් වීමි. (රතු) ලුහුණු (ආහාර කොට ගෙණ) ජීවත් වෙමි. මාගේ භෝජනය ලුහුණු ය.
1092. මම (ලුහුණු) කදක් පුරවාගෙණ සඞ්ඝාරාමයට ගියෙමි. සතුටු වූයෙම් සතුටු සිතින් ම සඞ්ඝයාට ලුහුණු දුන්නෙමි.
1093. මම විපස්සී නරශ්‍රේෂ්ඨයන් (බුදුරජානන්) වහන්සේ සසුනෙහි නිරත වූ සඞ්ඝයාට ලුහුණු දී කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
1094. මෙයින් එකානූවන කල්පයෙහි වූ එකල්හි (මම) යම් ලුහුණු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලුසුණදානයාගේ විපාකය යි.
1095. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලසුණදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
ලසුණදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
38. ආයාගදායක ස්ථවිරාවදානය
1096. කථා කරන්නවුන් අතුරෙන් උතුම් සිඛී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම සතුටු වූයෙම් සතුටු සිතින් ශ්‍රේෂ්ඨ චෛත්‍යය වැන්දෙමි.
1097. මම එකල්හි වඩුවන් සමග කථා කොට මුදල් දී සතුටු වූයෙම් සතුටු සිතින් දීර්‍ඝ භෝජනශාලාවක් කරවීමි.
1098. (ඒ හේතුවෙන්) මම අටකපක් නො කඩා කොට දෙව්ලොව විසීමි. සෙසු කල්පයන්හි (දිව්‍ය - මනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍ර ලෙස සැරි සැරීමි.
1099. මාගේ කයෙහි විෂ ඇතුළු නොවේ. ශස්ත්‍රයෝ (මා) නො නසත්. දියෙහි මම නො මැරෙමි. ආයාග (දීර්‍ඝශාලා) දානයාගේ මේ විපාකය යි.
1100. ඉදින් මම වැස්ස කැමැති වෙම් නම්, මහාවැසි වසින්නේ ය. දෙවියෝ ද මාගේ වසඟයට පැමිණෙත්. (ආයාගදානමය) පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
1101. මම තිස්වරක් සත්රුවනින් යුක්ත වූ සක්විතිරජ වීමි. මට කිසිවෙක් නින්‍දා නො කෙරෙත්. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
1102. (මෙයින්) එක්තිස්වන කල්පයෙහි (මම) යම් දීර්‍ඝශාලාවක් කරවීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දීර්‍ඝශාලාදානයාගේ මේ විපාකය යි.
1103. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආයාගදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
ආයාගදායක ස්ථවිරාවදානය අටවැනි යි.
39. ධම්මචක්කික ස්ථවිරාවදානය
1104. සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මාසනය ඉදිරියෙහි මා විසින් මැනවින් කරණලද නුවණැත්තවුන් විසින් වර්‍ණනා කරණලද ධර්‍මචක්‍රයක් තබන ලදී.