38. ආයාගදායක ස්ථවිරාවදානය
1096. කථා කරන්නවුන් අතුරෙන් උතුම් සිඛී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම සතුටු වූයෙම් සතුටු සිතින් ශ්රේෂ්ඨ චෛත්යය වැන්දෙමි.
1097. මම එකල්හි වඩුවන් සමග කථා කොට මුදල් දී සතුටු වූයෙම් සතුටු සිතින් දීර්ඝ භෝජනශාලාවක් කරවීමි.
1098. (ඒ හේතුවෙන්) මම අටකපක් නො කඩා කොට දෙව්ලොව විසීමි. සෙසු කල්පයන්හි (දිව්ය - මනුෂ්ය දෙගතියෙහි) මිශ්ර ලෙස සැරි සැරීමි.
1099. මාගේ කයෙහි විෂ ඇතුළු නොවේ. ශස්ත්රයෝ (මා) නො නසත්. දියෙහි මම නො මැරෙමි. ආයාග (දීර්ඝශාලා) දානයාගේ මේ විපාකය යි.
1100. ඉදින් මම වැස්ස කැමැති වෙම් නම්, මහාවැසි වසින්නේ ය. දෙවියෝ ද මාගේ වසඟයට පැමිණෙත්. (ආයාගදානමය) පුණ්යකර්මයාගේ මේ විපාකය යි.
1101. මම තිස්වරක් සත්රුවනින් යුක්ත වූ සක්විතිරජ වීමි. මට කිසිවෙක් නින්දා නො කෙරෙත්. පුණ්යකර්මයාගේ මේ විපාකය යි.
1102. (මෙයින්) එක්තිස්වන කල්පයෙහි (මම) යම් දීර්ඝශාලාවක් කරවීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දීර්ඝශාලාදානයාගේ මේ විපාකය යි.
1103. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආයාගදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
ආයාගදායක ස්ථවිරාවදානය අටවැනි යි.
39. ධම්මචක්කික ස්ථවිරාවදානය
1104. සිද්ධාර්ත්ථ භාග්යවතුන් වහන්සේගේ ධර්මාසනය ඉදිරියෙහි මා විසින් මැනවින් කරණලද නුවණැත්තවුන් විසින් වර්ණනා කරණලද ධර්මචක්රයක් තබන ලදී.
1105. මනෝඥ වූ (ස්වර්ණ) වර්ණ වූයෙම් ම (ස්වර්ණසිවිකාදි) යාන ද (සේනාපති මහාමාත්යාදි) සෙවාභටයන් ද (හස්ති අශ්ව රථ සඞ්ඛ්යාත) වාහන ද ඇත්තෙම් බබළමි. මා අනුව පවතින්නා වූ බොහෝ දෙන නිරතුරු ව ම මා පිරිවරත්.
1106. මම හැමකල්හි සැටදහසක් තුර්ය්යයන්ගෙන් පරිවරණය කරමි. පිරිවර කරණ කොට ගෙන බබළමි. පුණ්යකර්මයාගේ මේ ඵලය යි.
1107. මෙයින් සිවුඅනූවන කල්පයෙහි මම යම් (ධර්ම) චක්රයක් තැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්මචක්රදානයාගේ මේ විපාකය යි.
1108. මෙයින් එකොළොස්වන කල්පයෙහි නමින් සහස්සරාජ නම් වූ ජනාධිපති වූ මහත් බල ඇති සක්විතිරජවරු අටදෙනෙක් (අටවරකට) වූ වාහු ය.
1109. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මචක්කික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
ධම්මචක්කිකස්ථවිරාවදානය නවවැනි යි.
40. කප්පරුක්ඛිය ස්ථවිරාවදානය
1110. මම සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේගේ ශ්රේෂ්ඨ ස්තූපය ඉදිරියෙහි විසිතුරු දුහුල් එල්වා කප්රුකක් තැබීමි.
1111. දිව්ය වූ හෝ මනුෂ්ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, (ඒ හැම අත්බැව්හි දී ම) මාගේ දොරටුව හොබවමින් කප්රුකක් පිහිටයි.
1112. මම ද මා ඇසුරු කළ යම් කිසි පිරිසක් වේ නම්, ඔහු ද යන අපි හැමකල්හි ඒ කප්රුකින් දුහුල් ගෙන හඳිමු.
1113. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් කප්රුකක් තැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කල්පවෘක්ෂදානයාගේ මේ විපාකය යි.
1114. මෙයින් සත්වැනි කල්පයෙහි සත්රුවනින් යුත් මහත්බල ඇති සුචෙල නම් වූ සක්විතිරජවරු අටදෙනෙක් වූහ.
1115. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කප්පරුක්ඛිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
කප්පරුක්ඛියස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
කූංඩ සාගත කසයින් - උදායී මෝඝරාජ ද,
අධිමුත්ත ලසුන අයාගී - දම්සක් කප්රුක් දා දැයි.
තෙරසිරිත් දසයකි - එක්සිය දොළොස් ගයකින්.
අධිමුත්ත ලසුන අයාගී - දම්සක් කප්රුක් දා දැයි.
තෙරසිරිත් දසයකි - එක්සිය දොළොස් ගයකින්.
කුණ්ඩධානවර්ගය සිවුවැනි යි.