34. කාළුදායි ස්ථවිරාවදානය
1050-1051. මම එකල්හි ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති, මහමගට පිළිපන්, චාරිකාවෙහි හැසිරෙන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේට මැනැවින් පිපුනු පියුම් ද උපුල් ද බෝලිද්ද ද කිරිබත් ද ගෙන (එහි) ගියෙමි.
1052. මහාවීර වූ බුදුරජ තෙමේ මනා භෝජනය (කිරිබත) වැළඳී ය. ඒ මල් ද ගෙන මහාජනයාට දැක්වී ය. (කෙසේද? යත්:)
1053. (මේ) ලෝකයෙහි ඉෂ්ට වූ මන වඩන්නා වූ ප්‍රිය වූ උතුම් ජලජ (ජලයෙහි හටගන්නා) පුෂ්පයෝ වෙති. යමෙක් තෙමේ මට මේ මල් දුන්නේ ද, ඔහු විසින් ඉතා දුෂ්කර (පින්කමක්) කරණලදි.
1054. යමෙක් මට මල් නගා දුන්නේ ද, උතුම් වූ ආහාරය දුන්නේ ද ඔහු (කවරෙක් දැයි) මම කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු. (කෙසේ ද යත්?)
1055-1056. හෙතෙමේ අටළොස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. එකෙණෙහි ඔහුගේ පුණ්‍යවිපාකයෙන් දිව්‍යමය සුගන්‍ධයෙන් යුතු උපුල් ද පියුම් ද බෝලිද්ද ද ඔහු මත අහසෙහි වියනක් කොට දරන්නේ ය.
1057. පස්විසිවරක් සක්විතිරජ වන්නේ ය. පන්සියවරක් පෘථිවි රාජ්‍යය ලබා පොළොවෙහි වෙසෙන්නේ ය.
1058. මෙයින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
1059. කුශලමූලයෙන් මෙහෙයන ලද ස්වකීය කර්‍මයෙන් සන්තුෂ්ට වූ හෙතෙමේ ශාක්‍යයන්ගේ සතුට ඇති කරන්නා වූ නෑ සබඳ කම් ඇත්තෙක් වන්නේ ය.
1060. කුශලමූලයෙන් මෙහෙයන ලද හෙතෙමේ පසු ව පැවිදි ව සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන (දුරු කොට) ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.
1061. ලෝකබන්‍ධු වූ ගෞතමබුදුරජානන් වහන්සේ පැමිණ (සිවු) පිළිසිඹියාවන් ඇති, කරණ ලද කටයුතු ඇති, ආශ්‍රව රහිත වූ ඔහු ඒතදග්‍රස්ථානයෙහි තබන සේක.
1062. වීර්‍ය්‍යය වැඩූ, නිවණ කෙරෙහි මෙහෙයූ සිත් ඇති, උපශාන්ත වූ උපධි රහිත වූ හෙතෙමේ නමින් උදායී නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
1063. රාගය ද ද්වේෂය ද මෝහය ද මක්ඛය (ගුණමකුබව) ද විනාශ කරණ ලද්දේ ය. සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආශ්‍රව රහිත ව වෙසෙමි.
1064. කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ප්‍රඥාවත් වූ මම බුදුරජානන් වහන්සේ සතුටු කෙළෙමි. ප්‍රමුදිත වූ බුදුරජ තෙමේ මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
1065. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාළුදායි ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් දේශනා කළ සේක් යී.
කාළුදායි ස්ථවිරාවදානය සිවුවැනි යි.
35. මෝඝරාජ ස්ථවිරාවදානය
1066. සියල්ල තෙමේ ම දැනගත්තා වූ අපරාජිත වූ (පස්මරුන් දිනූ) අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද්දාහු වීථියට පිළිපන් සේක.
1067. මම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් ගෘහයෙන් නික්මුනෙමි. නික්ම එහි ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.
1068. සිරසෙහි ඇඳිලි බැඳ බුදුරජුන් වැඳ සිය සිත පහදවා ලෝකනාථයන් වහන්සේ (හා) පිළිසඳර කථා කෙළෙමි.
1069. “යම් පමණ රූපාවචර බ්‍රහ්මලෝක වාසි සත්ත්‍වයෝ වෙත් ද, එසේ ම අරූපාවචර බ්‍රහ්මලෝකවාසි සත්ත්‍වයෝ වෙත් ද, අසංඥතලවාසි සත්ත්‍වයෝ වෙත් ද, ඒ සියල්ලෝ ඔබ වහන්ස්ගේ ඤාණයෙහි ඇතුළත් වෙත්. (ඔබ වහන්සේගේ නුවණට ඔහු පෙණෙත්.)
1070. යමෙක් කුඩා සිදුරු ඇති දැලක් දියෙහි බහන්නේ නම්, (එවිට) දියෙහි කිසියම් ප්‍රාණි කෙනෙක් වෙත් ද, ඔවුහු දැල තුළෙහි වෙත්.
1071. රූපීසත්ත්‍වයන් පිළිබඳ වූ හෝ අරූපීසත්ත්‍වයන් පිළිබඳ වූ යමෙකුගේ චේතනාවක් ඇත් නම්, ඒ සියලු චේතනාවෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.
1072. අඳුරෙහි ගැවසී ගත් මේ ලෝකයා (ඔබවහන්සේ) නගා සිටුවන සේක. ඔහු ඔබ වහන්සේගේ ධර්‍මය අසා සැකය නමැති සැඩපහර තරණය කෙරෙත්.
1073. ලෝකවාසි සත්ත්‍ව තෙමේ අවිද්‍යාව විසින් වසාගන්නා ලදී. (මෝහ) අන්‍ධකාරය විසින් වෙළාගන්නා ලදී. ඔබ වහන්සේගේ නුවණ බබළන කල්හි (ලෝවැස්සෝ) නසන ලද මොහාන්‍ධකාර ඇත්තෝ වෙත්.
1074. ඔබ වහන්සේ සියලු දෙනාගේ මහා මෝහාන්‍ධකාරය දුරුකරන්නා වූ ඇසක් වන සේක. බොහෝ ජන තෙමේ ඔබ වහන්සේගේ ධර්‍මය අසා (කෙලෙස් ගින්න) නිවාගණී.
1075. නිදොස් වූ බුද්දකමධු (දඬුවෙල්බෑ මීපැණි) සැළියක් පුරවා දොහොතින් ගෙන ගොස් බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.
1076. මහර්ෂි වූ මහාවීර වූ (අත්‍ථදස්සි) බුදුරජතෙමේ මී අනුභව කොට අහසට නැංගේ ය.
1077. අසසෙහි සිටියා වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සි ශාස්තෘ තෙමේ මාගේ සිත පහදවමින් මෙ ම ගාථාවන් දෙසී ය.
1078. “මේ (බුද්ධ) ඥානය යමකු විසින් පසසන ලද ද, බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ද (යමකු විසින්) තුති කරණ ලද ද, හෙතෙමේ එ ම චිත්තප්‍රසාදය කරණ කොට ගෙණ දුගතියකට නො යයි.
1079. හෙතෙමේ තුදුස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටසිය වරක් පෘථිවීරාජ්‍යය (කොට) පොළොවෙහි වාසය කරන්නේ ය.