35. මෝඝරාජ ස්ථවිරාවදානය
1066. සියල්ල තෙමේ ම දැනගත්තා වූ අපරාජිත වූ (පස්මරුන් දිනූ) අත්ථදස්සි භාග්යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද්දාහු වීථියට පිළිපන් සේක.
1067. මම ශිෂ්යයන් විසින් පිරිවරණ ලදුයෙම් ගෘහයෙන් නික්මුනෙමි. නික්ම එහි ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.
1068. සිරසෙහි ඇඳිලි බැඳ බුදුරජුන් වැඳ සිය සිත පහදවා ලෝකනාථයන් වහන්සේ (හා) පිළිසඳර කථා කෙළෙමි.
1069. “යම් පමණ රූපාවචර බ්රහ්මලෝක වාසි සත්ත්වයෝ වෙත් ද, එසේ ම අරූපාවචර බ්රහ්මලෝකවාසි සත්ත්වයෝ වෙත් ද, අසංඥතලවාසි සත්ත්වයෝ වෙත් ද, ඒ සියල්ලෝ ඔබ වහන්ස්ගේ ඤාණයෙහි ඇතුළත් වෙත්. (ඔබ වහන්සේගේ නුවණට ඔහු පෙණෙත්.)
1070. යමෙක් කුඩා සිදුරු ඇති දැලක් දියෙහි බහන්නේ නම්, (එවිට) දියෙහි කිසියම් ප්රාණි කෙනෙක් වෙත් ද, ඔවුහු දැල තුළෙහි වෙත්.
1071. රූපීසත්ත්වයන් පිළිබඳ වූ හෝ අරූපීසත්ත්වයන් පිළිබඳ වූ යමෙකුගේ චේතනාවක් ඇත් නම්, ඒ සියලු චේතනාවෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.
1072. අඳුරෙහි ගැවසී ගත් මේ ලෝකයා (ඔබවහන්සේ) නගා සිටුවන සේක. ඔහු ඔබ වහන්සේගේ ධර්මය අසා සැකය නමැති සැඩපහර තරණය කෙරෙත්.
1073. ලෝකවාසි සත්ත්ව තෙමේ අවිද්යාව විසින් වසාගන්නා ලදී. (මෝහ) අන්ධකාරය විසින් වෙළාගන්නා ලදී. ඔබ වහන්සේගේ නුවණ බබළන කල්හි (ලෝවැස්සෝ) නසන ලද මොහාන්ධකාර ඇත්තෝ වෙත්.
1074. ඔබ වහන්සේ සියලු දෙනාගේ මහා මෝහාන්ධකාරය දුරුකරන්නා වූ ඇසක් වන සේක. බොහෝ ජන තෙමේ ඔබ වහන්සේගේ ධර්මය අසා (කෙලෙස් ගින්න) නිවාගණී.
1075. නිදොස් වූ බුද්දකමධු (දඬුවෙල්බෑ මීපැණි) සැළියක් පුරවා දොහොතින් ගෙන ගොස් බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.
1076. මහර්ෂි වූ මහාවීර වූ (අත්ථදස්සි) බුදුරජතෙමේ මී අනුභව කොට අහසට නැංගේ ය.
1077. අසසෙහි සිටියා වූ නරශ්රේෂ්ඨ වූ අත්ථදස්සි ශාස්තෘ තෙමේ මාගේ සිත පහදවමින් මෙ ම ගාථාවන් දෙසී ය.
1078. “මේ (බුද්ධ) ඥානය යමකු විසින් පසසන ලද ද, බුද්ධ ශ්රේෂ්ඨ තෙමේ ද (යමකු විසින්) තුති කරණ ලද ද, හෙතෙමේ එ ම චිත්තප්රසාදය කරණ කොට ගෙණ දුගතියකට නො යයි.
1079. හෙතෙමේ තුදුස් වරක් දිව්යරාජ්යය කරන්නේ ය. අටසිය වරක් පෘථිවීරාජ්යය (කොට) පොළොවෙහි වාසය කරන්නේ ය.
1080. ඉක්බිති පන්සියවරක් සක්විතිරජ වන්නේ ය. පෘථිවියෙහි අසඞ්ඛ්යවාරගණනක් ප්රදේශරාජ්යය කරවන්නේ ය.
1081. වේද හදාරන්නා වූ මන්ත්රධර වූ වේදත්රයයෙහි පරතෙරට ගියා වූ (හෙතෙමේ) ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය.
1082. ගැඹුරු වූ සියුම් වූ අර්ත්ථ නුවණින් දැනගන්නේ ය. (හෙතෙමේ) නමින් මෝඝරාජ ය යි බුද්ධශ්රාවකයෙක් වන්නේ ය.
1083. (සසර කතරින් සත්ත්වයන් එතෙර කරණ බැවින්) අග්ර සාර්ත්ථවාහයකු වැනි වූ ගෞතම බුදුරජ තෙමේ ත්රිවිද්යාවන්ගෙන් යුක්ත වූ කොට නිමවූ කට යුතු ඇති ආශ්රව රහිත වූ (ඔහු) ඒතදග්රස්ථානයෙහි තබන්නේ ය.”
1084. මිනිස්යෙදුම් හැර භවබැඳුම් සිඳ සියලු ආශ්රවයන් ප්රහාණ පරිඥාවශයෙන් දැන ආශ්රව රහිත ව වෙසෙමි.
1085. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මෝඝරාජස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
මොඝරාජස්ථවිරාවදානය පස්වැනි යි.
36. අධිමුත්ත ස්ථවිරාවදානය
1086. මනුෂ්යොත්තම වූ අත්ථදස්සී බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි (මම) පැහැදි සිතින් යුතු ව භික්ෂු සඞ්ඝයාට උපස්ථාන කෙළෙමි.
1087. ඍජු ගුණ යුත් එකඟ සිත් ඇති සංඝරත්නය පවරා මඩුවක් කරවා උතුම් සඞ්ඝයාට උක් වැළඳවීමි.
1088. දිව්ය වූ හෝ මනුෂ්ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම්, සියලු සත්ත්වයන් අභිභවනය කරමි. මේ (එ ම) පුණ්යකර්මයාගේ ඵලය යි.
1089. කල්ප එක්දහස්අටසියයකට පෙර වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උක් දනෙහි මේ විපාකය යි.
1090. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අධිමුත්ත ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
අධිමුත්තස්ථවිරාවදානය සවැනි යි.
37. ලසුණදායක ස්ථවිරාවදානය
1091. මම එකල්හි හිමවතට නුදුරු තන්හි තවුසෙක් වීමි. (රතු) ලුහුණු (ආහාර කොට ගෙණ) ජීවත් වෙමි. මාගේ භෝජනය ලුහුණු ය.
1092. මම (ලුහුණු) කදක් පුරවාගෙණ සඞ්ඝාරාමයට ගියෙමි. සතුටු වූයෙම් සතුටු සිතින් ම සඞ්ඝයාට ලුහුණු දුන්නෙමි.