33. මහාකාත්‍යායන ස්ථවිරාවදානය
1033. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ පදුම නම් චෛත්‍යයක් වී ය. (එහි) ගල් අසුනක් කරවා ස්වර්‍ණාලේප කරවීමි.
1034. ස්වර්‍ණමය වූ ඡත්‍රයක් ද වල්විදුනාවක් ද ගෙන ලෝකබන්‍ධු වූ තාදිගුණ ඇති බුදුරජානන් වහන්සේට නගා තැබීමි.
1035-1036. එකල්හි භූමිය ඇසුරු කළා වූ යම් තාක් දෙවියෝ වූ නම්, ඒ සියල්ලෝ ම රැස් වූහ. (කුමකට ද යත්:) “ස්වර්‍ණමයඡත්‍රයාගේ විපාකය වදාරන්නේ ය. එසේ වදාරන්නා වූ බුදුරජානන් වහන්සේගේ ඒ සියලු කථාව අසන්නෙමු. සම්මාසම්බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි වැඩියක් සතුට උපදවන්නෙමු”යි යනුවට ය.
1037. සියලු දත යුතු දෑ තෙමේ ම දත්තා වූ අග්‍රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද සේක් ස්වර්‍ණාසනයෙහි හිඳ මෙ ම ගාථාවන් වදාළසේක.
1038. “යමකු විසින් ස්වර්‍ණරත්නමය වූ (සත් රුවනින් කරණ ලද,) මෙ ම අසුන පුදන ලද ද, ඔහු (කවරෙක් දැ යි) මම ප්‍රකාශ කරන්නෙමි. (එය) පවසන්නා වූ මාගේ වචනය අසවු.
1039. (හෙතෙමේ) තිස් කපක් මුළුල්ලෙහි ශක්‍ර දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය. හාත්පස යොදුන් සියයක් ප්‍රභාවෙන් යටපත් කරන්නේ ය.
1040-1041. මිනිස්ලොව ට අවුත් උග්‍රතේජස් ඇති නමින් ප්‍රභාස්වර නම් වූ සක්විති රජෙක් වන්නේ ය. (මෙ ම) ක්‍ෂත්‍රිය තෙමේ උදා වූ සූර්‍ය්‍යයා මෙන් දිවා රෑ දෙකෙහි ම හාත්පස අටරියනක් (තැන්) බබුළුවන්නේ ය.
1042. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
1043. කුශල මූලයෙන් මෙහෙයන ලද්දා වූ මෙතෙමේ තුසීපුරයෙන් චුත ව නමින් කච්චායන නම් වූ බමුණෙක් වන්නේ ය.
1044. හෙතෙම පසු ව පැවිදි ව ආශ්‍රව රහිත වූ රහත් නමක් වන්නේ ය. ලොව බබුළුවන්නා වූ ගෞතම බුදුරජ තෙමේ (ඔහු) අග්‍රස්ථානයෙහි තබන්නේ ය. (කෙසේ ද? යත්:)
1045. මෙතෙම සැකෙවින් විචාරණ ලද ප්‍රශ්නය විතර විසින් කියන්නේ ය. ඒ ප්‍රශ්නය (විතර විසින්) කියන්නේ ද (අසන්නාගේ) අදහස සම්පූර්‍ණ කරන්නේ”යී.
1046. ආඪ්‍යකුලයෙහි උපන්නා වූ මන්ත්‍රයන්හි පරතෙරට ගියා වූ බ්‍රාහ්මණයෙක් වූ (මම) ධනධාන්‍යන් ඇත හැර දමා අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි.
1047. මම සංක්‍ෂිප්ත ලෙස විචාරණ කල්හි දු විස්තර වශයෙන් කියමි. ( විචාරන්නා වූ) ඔවුන්ගේ අදහස් සම්පූර්‍ණ කරමි. ද්විපදෝත්තම වූ බුදුරජානන් වහන්සේ සතුටු කරමි.
1048. මා විසින් තුටු කරණ ලද මහාවීර වූ සියල්ල තෙමේ ම දත්තා වූ අග්‍රපුද්ගල වූ (ගෞතම බුදුරජතෙම) බික්සඟන මැද හිඳ මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
1049. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
මහාකාත්‍යායනස්ථවිරාවදානය තෙවැනි යි.