31. කුණ්ඩධාන ස්ථවිරාවදානය
1003. සතියක් (නිරෝධසමාත්තියට සමවැදී) විවේකයෙන් සිටි සියල්ල තමා ම අවබෝධ කළාවූ අග්‍ර පුද්ගල වූ (පදුමුත්තර) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹීමි.
1004. මම (නිරෝධසමාපත්තියෙන්) නැගී සිටි මහාමුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේට (දානය පිළිගැන්වීමට) සුදුසු කලැයි දැන මහත් වූ කෙසෙල්කැණක් ගෙන ආයෙමි.
1005. ලෝකනායක වූ මහාමුනි වූ භාග්‍යවතුන් වහන්සේ එ ම ඵලය (කෙසෙල්කැණ) පිළිගෙන මාගේ සිත පහදවනසේක් වැළඳූ සේක.
1006. (තමාට වැඩි කෙනෙකුන් නැති බැවින්) අනුත්තර වූ සත්ත්‍වයන් (සසර කතරින් එතෙර කරණ බැවින්) සාර්‍ත්‍ථවාහකයකු වැනි වූ බුදුරජානන් වහන්සේ වළඳා ස්වකීය අසුනෙහි වැඩ හිඳ මෙ ම ගාථාවන් වදාළ සේක.
1007. “මෙ ම පර්‍වතයෙහි රැස් වූ යම් යක්‍ෂ කෙනෙක් වෙසෙත් නම්, (ඔහු ද) අරණෙහි මේ ධර්‍මය ඇසීමට සුදුසු අනිකුත් භූතයෝ ද මාගේ වචනය අසත්වා.
1008. ඒ යමෙක් කේශරසිංහයකු මෙන් සර්‍වඥ වූ මට උවැටන් කෙළේ ද, මම ඔහු (කවරෙක් දැ යි) ප්‍රකාශ කරන්නෙමි. (එය) කියන්නා වූ මාගේ වචනය අසවු.
1009. ඒ මේ තැනැත්තේ එකොළොස් වරක් ශක්‍ර දේවේන්‍ද්‍ර වන්නේ ය. සූතිස් වරක් සක්විති රජ වන්නේ ය.
1010. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
1011. සිල්වත් රහත් භික්‍ෂූන්ට ආක්‍රෝශ කොට එ ම පාපකර්‍මයාගේ විපාකයෙන් (කුණ්ඩාධාන යන) නමක් ද ලබන්නේ ය.
1012. හෙතෙම ඒ (ගෞතම) බුදුරජාණන් වහන්සේගේ ධර්‍මයට දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ නමින් කුණ්ඩධාන නම් ඖරස (බුද්ධ) පුත්‍ර වූ ශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි).
1013. මම ප්‍රකර්‍ෂවිවේකයෙහි යෙදුනෙම් ධ්‍යාන කරණසුලු වූයෙම් ධ්‍යානයෙහි ඇලුනෙම් ශාස්තෲන් වහන්සේ සතුටු කොට ආශ්‍රව රහිත ව වෙසෙමි.
1014. අග්‍රශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද භික්‍ෂුසංඝයා විසින් පෙරටු කරණලද සර්‍වඥ තෙම බික්සඟන මැද හිඳ ලහ ගැන්වී ය.
1015. සිවුරු එකස් කොට ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ වැඳ තථාගතයන් වහන්සේ ඉදිරියෙහි දී මම පළමු කොට ම (ලහ) ගතිමි.
1016. ඒ කර්‍මය හේතු කොට ගෙන දසදහසක් සක්වළ කම්පනය කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ මා අග්‍රස්ථානයෙහි තැබූ සේක.
1017. නිර්‍වාණසඞ්ඛ්‍යාත යෝගක්‍ෂේමයට පමුණුවන ධුරවාහකයා (=ගැල් උසුලන ගවයා) මාගේ වීර්‍ය්‍යය යි. (මම මේ) සර්‍වඥ ශාසනයෙහි අන්තිමශරීරය දරමි. (=අන්තිම ආත්මයෙහි සිටිමි).
1018. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුණ්ඩධාන ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
කුණ්ඩධානස්ථවිරාවදානය පළමුවැනි යි.
32. සාගත ස්ථවිරාවදානය
1019. එකල්හි මම් නමින් සෝභිත ය යි (ප්‍රකට) බමුණෙක් වීමි. ස්වකීය ශිෂ්‍යන් විසින් පිරිවරණ ලදුයෙම් ආරාමයට ගියෙමි.
1020. එකල්හි පුරුෂෝත්තම වූ (පදුමුත්තර) භාග්‍යවත් තෙමේ භික්‍ෂු සංඝයා පිරිවරණ ලදුයේ අරම් දොරටුවෙන් නික්ම සිටියේ ය.
1021. දැමුනා වූ දැමුනවුන් විසින් පිරිවරණ ලද්දාවූ ඒ ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි. (දැක) ස්වකීය චිත්තය පහදවා සතුටු සාමීචි කථා කළෙමි. (කෙසේ ද ? යත්:)