372. පාටලියපුප්ඵිය ස්ථවිරාවදානය
3225. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ පස්මරුන් දිනූ විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරන ලද සේක් බන්‍ධුම නගරයට පිවිසි සේක.
3226. මා විසින් පළොල් මල් තුණත් හිඟෙහි තබන ලද්දේ ය. මම හිස නහනු කැමැත්තෙම් ගංතෙරට ගියෙමි.
3227-3228. බන්‍ධුමතී නගරයෙන් නික්ම වඩින්නා වූ මහනිල් මලක් මෙන් බබලන ඇවිළගත් ගින්නක් බඳු වූ ව්‍යාඝ්‍රරාජයකු මෙන් වූ උතුම් වූ විශිෂ්ට ජන්ම ඇති සිංහරාජයකු බඳු වූ ශ්‍රමණයනට අග්‍ර වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
3229. කෙලෙස්මල දෝනා වූ ඒ බුදුරජුන් කෙරෙහි පැහැදුනෙම් පළොල් මල් තුණ ගෙන බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
3230. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3231. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
දෙවෙනි පාටලිපුප්ඵිය ස්ථවිරාවදානය යි.
373. තිඋප්පලමාලිය ස්ථවිරාවදානය
3232. මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි වානරයෙක් වීමි. එකල්හි කඳු අතුරෙහි වැඩහුන්නා වූ කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
3233. සියලු දිගුන් බබුළුවන්නා වූ පිපුණු සල්රුකකට බඳු වූ (දෙතිස්මහපුරිස්) ලකුණින් හා අනුව්‍යඤ්ජනයන්ගෙන් යුත් (උන්වහන්සේ) දැක සොම්නස් වූ මම-
3234. ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්‍රීතියෙන් පිණාගිය සිත් ඇත්තෙම් උපුල් මල් තුණක් අහස්හි විසුරුවා පිදීමි.
3235. මම ඵුස්ස බුදුරජුන්හට ඒ මල් පුදා ගෞරව සහිතව උතුරු දෙසට මුහුණ ලා ගියෙමි.
3236. පැහැදි සිතින් හැකිළී (බුදුනට පිටු නොපා) යන්නෙම් කඳු අතුරෙහි වැටී ජීවිතක්‍ෂයට පත්වීමි.
3237. ඒ සුකෘත කර්‍මය හේතු කොට ගෙණ මම පළමු ජාතිය - එම ආත්මභාවය හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
3238. මම තුන්සියවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සියවරක් සක්විතිරජ වීමි.
3239. මෙයින් දෙයානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3240. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිඋප්පලමාලිය ස්ථවිරාවදානය තෙවෙනි යි.
374. පට්ටිපුප්ඵිය ස්ථවිරාවදානය
3241. යම් කලෙක්හි මහර්ෂී වූ පදුමුත්තර බුදුරජ තෙම පිරිනිවන් පෑයේ ද, (එකල්හි) සියලු ජනයෝ එකතුව උන්වහන්සේගේ දේහය ගෙණ යත්.
3242. ශරීරය ගෙණ යද්දී බෙර වයද්දී පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම රතුලොත්මල් පිදීමි.
3243. මෙයින් සියක්දහස් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධදේහය පිදූ කල මේ විපාක යි.