373. තිඋප්පලමාලිය ස්ථවිරාවදානය
3232. මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි වානරයෙක් වීමි. එකල්හි කඳු අතුරෙහි වැඩහුන්නා වූ කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
3233. සියලු දිගුන් බබුළුවන්නා වූ පිපුණු සල්රුකකට බඳු වූ (දෙතිස්මහපුරිස්) ලකුණින් හා අනුව්‍යඤ්ජනයන්ගෙන් යුත් (උන්වහන්සේ) දැක සොම්නස් වූ මම-
3234. ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්‍රීතියෙන් පිණාගිය සිත් ඇත්තෙම් උපුල් මල් තුණක් අහස්හි විසුරුවා පිදීමි.
3235. මම ඵුස්ස බුදුරජුන්හට ඒ මල් පුදා ගෞරව සහිතව උතුරු දෙසට මුහුණ ලා ගියෙමි.
3236. පැහැදි සිතින් හැකිළී (බුදුනට පිටු නොපා) යන්නෙම් කඳු අතුරෙහි වැටී ජීවිතක්‍ෂයට පත්වීමි.
3237. ඒ සුකෘත කර්‍මය හේතු කොට ගෙණ මම පළමු ජාතිය - එම ආත්මභාවය හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
3238. මම තුන්සියවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සියවරක් සක්විතිරජ වීමි.
3239. මෙයින් දෙයානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3240. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිඋප්පලමාලිය ස්ථවිරාවදානය තෙවෙනි යි.
374. පට්ටිපුප්ඵිය ස්ථවිරාවදානය
3241. යම් කලෙක්හි මහර්ෂී වූ පදුමුත්තර බුදුරජ තෙම පිරිනිවන් පෑයේ ද, (එකල්හි) සියලු ජනයෝ එකතුව උන්වහන්සේගේ දේහය ගෙණ යත්.
3242. ශරීරය ගෙණ යද්දී බෙර වයද්දී පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම රතුලොත්මල් පිදීමි.
3243. මෙයින් සියක්දහස් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධදේහය පිදූ කල මේ විපාක යි.
3244. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3245. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3246. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පට්ටිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පට්ටිපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
375. සත්තපණ්ණිය ස්ථවිරාවදානය
3247. ලෝකනායක වූ සුමන නම් සම්බුදුරජ තෙමේ ලොව පහළ විය. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් රුක්අත්තන මල් පිදීමි.
3248. මෙයින් සියක් දහස්වන කපෙහි යම් රුක්අත්තන මල් පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. රුක්අත්තන මල් පිදීමෙහි මේ විපාක යි.
3249. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලද්දාහු වෙති. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
3250. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3251. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපණ්ණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සත්තපණ්ණිය ස්ථවිරාවදානය පස්වැනි යි.
376. ගන්‍ධමුට්ඨිය ස්ථවිරාවදානය
3252. නොයෙක් සුවඳ වර්‍ග රැස් කොට සෑයක් (=චිතකයක්) කරණු ලබන කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සුවඳ මිටක් පිදීමි.
3253. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.