345. නළාගාරික ස්ථවිරාවදානය
3104. හිමවතට නුදුරෙහි හාරිත නම් පර්‍වතයෙක් ඇත. එකල්හි නාරද නම් බුදුරජ තෙම රුක්මුලක වැඩවිසීය.
3105. මම බටකිළියක් කොට එහි තණ (=බටකොළ) සෙවිනි කෙළෙමි. මම සක්මනක් ද පිරිසිදු කොට තථාගතයන් වහන්සේට දිනිමි.
3106. මම තුදුස් කපක් දෙව්ලොව සිත් අලවා විසීමි. සූසැත්තෑ වරක් දිව්‍යරාජ්‍ය කරවීමි.
3107. මම සත්සැත්තෑවරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් ගිණිය නො හැකි ය.
3108. පැනනැංගා වූ මාගේ භවනය දේදුන්නක් මෙන් උස් ව නැගුනේ ය. දහසක් ටැම් ඇති අනුපම වූ ඒ විමානය පැහැ විහිදුවන්නේ ය.
3109. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් ද්විවිධ (දිව්‍ය-මනුෂ්‍ය) සම්පත් අනුභව කොට මම ගෞතම බුදුරජුන්ගේ සසුනෙහි පැවිදි වීමි.
3110. වීර්‍ය්‍යයෙහි මෙහෙයන ලද සිත් ඇත්තෙම් වෙමි. එසේ ම උපශාන්තයෙමි. උපධී රහිතයෙමි. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3111. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළාගාරික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නළාගාරික ස්ථවිරාවදානය පස්වැනි යි.
346. චමපකපුප්ඵිය ස්ථවිරාවදානය
3112. හිමවතට නුදුරෙහි චාපල නම් පර්‍වතයෙක් ඇත. සුදස්සන නම් බුදුරජ තෙම එහි පර්‍වත අතුරෙහි විසී ය.
3113. හිමවත්හි හටගත් මල් ගෙණ අහසින් යන්නා වූ මම කෙලෙස් රජස් නැති ඕඝයන් තරණය කළ ආස්‍රව විරහිත බුදුරජුන් දිටිමි.
3114. එකල්හි මම සපුමල් සතක් හිසෙහි තමා සියල්ල තෙමේ ම අවබෝධ කළ බුදුරජුන්හට පිදීමි.
3115. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද (එ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3116. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චම්පකපුප්ඵිය ස්ථවිරාවදානය සවැනි යි.
347. පදුමපූජක ස්ථවිරාවදානය
3117. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්‍වතයෙක් ඇත. එකල්හි සම්භව නම් පසේබුදුරජ තෙමේ ද අභ්‍යවකාශයෙහි (එළිමහනෙහි) වැඩ විසීය.
3118. මම භවනයෙන් නික්ම අවුත් උන්වහන්සේට පියුමක් දැරීමි. එක් දිනක් එය දරමින් සිට යළි භවනයට එළඹියෙමි.