346. චමපකපුප්ඵිය ස්ථවිරාවදානය
3112. හිමවතට නුදුරෙහි චාපල නම් පර්වතයෙක් ඇත. සුදස්සන නම් බුදුරජ තෙම එහි පර්වත අතුරෙහි විසී ය.
3113. හිමවත්හි හටගත් මල් ගෙණ අහසින් යන්නා වූ මම කෙලෙස් රජස් නැති ඕඝයන් තරණය කළ ආස්රව විරහිත බුදුරජුන් දිටිමි.
3114. එකල්හි මම සපුමල් සතක් හිසෙහි තමා සියල්ල තෙමේ ම අවබෝධ කළ බුදුරජුන්හට පිදීමි.
3115. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද (එ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3116. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චම්පකපුප්ඵිය ස්ථවිරාවදානය සවැනි යි.
347. පදුමපූජක ස්ථවිරාවදානය
3117. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්වතයෙක් ඇත. එකල්හි සම්භව නම් පසේබුදුරජ තෙමේ ද අභ්යවකාශයෙහි (එළිමහනෙහි) වැඩ විසීය.
3118. මම භවනයෙන් නික්ම අවුත් උන්වහන්සේට පියුමක් දැරීමි. එක් දිනක් එය දරමින් සිට යළි භවනයට එළඹියෙමි.
3119. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3120. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පදුමපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
348. තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය
3121. හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්වතයෙක් ඇත. එහි උපතිස්ස නම් බුදුරජතෙම එළිමහන්හි සක්මන් කෙළේය.
3122. එකල්හි මම මහවනයෙහි මුවවැද්දෙක් වීමි. දෙවියනට දෙවි වූ සියල්ල තෙමේ ම අවබෝධ කළ පස්මරුන් දිනූ ඒ බුදුරජුන් දැක-
3123. එකල්හි මම පැහැදි සිතින් ඒ බුදුරජුන්හට වැඩ හිඳීම පිණිස තණ මිටක් දිනිමි.
3124. දේවාතිදේව වූ බුදුරජුන්හට එය දී බෙහෙවින් සිත පැහැදවීමි. ඉක්බිති සම්බුදුරජුන් වැඳ උතුරු දෙස බලා ගියෙමි.
3125. එසේ ගිය නොබෝ වෙලාවකින් සිංහයෙක් මා පෙළී ය. සිංහයා විසින් බිම හෙළන ලද මම එහි කලුරිය කෙළෙමි.
3126. ආස්රව රහිත වූ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ විෂයෙහි මරණාසන්නයෙහි ම මා විසින් කළ කර්මය (හේතුකොට ගෙණ) මම දුනුයෙන් මුදන ලද වේගවත් හීයක් මෙන් දෙව්ලොව ගියෙමි.
3127. එහි (මාගේ) පුණ්යකර්මයෙන් නිර්මිත ශෝභන ප්රාසාදයක් විය. එහි සහස්ර භාග ඇත්තේය. සියයක් ගෝලාකාර මුදුන් ඇත්තේය. (මුදුන්වල එල්ලෙන) ධජ බහුල ය. නිල්මුවා පැහැ ඇත්තේ ය.
3128. උදා වූ හිරු මෙන් ඒ ප්රාසාදයාගේ රශ්මිය ද පැතිරෙයි. මම එහි දිව්යකන්යාවන් විසින් පිරිවරන ලදුයෙම් කාමකාමීව සතුටු වීමි.
3129. ඒ කුශල කර්මයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් සැවැ මිනිසත්බවට පැමිණ ආස්රවක්ෂයට (=රහත්බවට) පැමිණියෙම් වෙමි.
3130. මම මින් සිවුඅනූවන කපෙහි නිසීදනයක් දුනිමි. ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. තණමිටෙහි මේ විපාක යි.
3131. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය අටවැනි යි.