341. ඒකපදුමිය ස්ථවිරාවදානය
3074. සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර සර්වඥ තෙමේ කුදු මහත් භවයන් ප්රකාශ කරණුයේ බොහෝ ජනයා සසර සයුරින් එතෙර කෙළේය.
3075. එකල්හි මම පක්ෂීන්හට උත්තම වූ හංසරාජයෙක් වෙමි. ස්වයංජාත විලකට බැස හංසක්රීඩා කරමි.
3076. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ත්රිවිධලෝකයන් මැනැවින් දැනවදාළ පදුමුත්තර බුදුරජ තෙම එකෙණෙහිම එම ස්වයංජාත විල මතුයෙහි (අහසින් එතැනට) වැඩියේ ය.
3077. මම දෙවියනට දෙවි වූ ස්වයම්භූ වූ ඒ බුදුරජුන් දැක මනරම් වූ සියපත් පියුමක් නටුවෙන් කඩා-
3078. බුදුරජුන් කෙරෙහි පහන් වූයෙම් තුඩින් ගෙණ ඔසවා අහසෙහි වැඩ සිටි එම බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට පිදීමි.
3079. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජ තෙම අහසෙහි වැඩ සිටියේ මාහට මේ අනුමෝදනාව කෙළේය:
3080. “මේ එක ම පියුම පිදීම් හේතුවෙන් ද, චිත්ත ප්රණිධි හේතුවෙන් ද කල්පලක්ෂයක් මුළුල්ලෙහි විනිපාත සඞ්ඛ්යාත දුගතියකට නො යන්නෙහි ය”.
3081. පදුමුත්තර නම් වූ සර්වඥ තෙමේ මේ අනුමෝදනා වදාරා මාගේ කර්මය පිළිබඳ තොරතුරු පවසා වැඩියේය.
3082. මෙයින් පෙර ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3083. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපදුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකපදුමිය ස්ථවිරාවදානය පළමු වැනි යි.
342. තිඋප්පලමාලිය ස්ථවිරාවදානය
3084. මම එකල්හි චන්ද්රභාගා නදීතීරයෙහි වඳුරෙක් වීමි. කඳු අතුරෙහි වැඩහුන් කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
3085. දස දික් බබුළුවන පිපී ගිය උතුම් සල්රුකක් වැනි (දෙතිස් මහා පුරිස්) ලකුණින් අසූ අනුව්යඤ්ජනයන්ගෙන් යුත් බුදුරජුන් දැක තුටු වීමි.
3086. ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්රීතියෙන් පිනාගියෙමි. උපුල් මල් තුණක් මතුයෙහි නගා පිදීමි.
3087. විපස්සී බුදුරජුන්හට මේ මල් පුදා ගෞරව සහිතව ගොස් උතුරුදිග බලා ගියෙමි.
3088. පැහැදි සිතින් හැකිළී යන්නෙම් ගලතුර වැටී ජීවිතක්ෂයට පැමිණියෙමි.
3089. මැනැවින් කරණ ලද ඒ කර්මය හේතු කොට ගෙණ ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද, මිනිස් සිරුර හැර මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
3090. මම තුන්සියක් වර දිව්යරාජ්යය කෙළෙමි. පන්සියක් වර සක්විති රජ වීමි.
3091. මෙයින් අනූඑක්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කරණ ලද ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජායෙහි මේ විපාකයි.
3092. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිඋප්පලමාලිය ස්ථවිරාවදානය දෙවැනි යි.
343. ධජදායක ස්ථවිරාවදානය
3093. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ තිස්ස නම් ශාස්තෘ තෙමේ ලොව පහළ විය. උන්වහන්සේගේ උපධික්ෂය (=ස්කන්ධොපධි සඞ්ඛ්යාත පඤ්චස්කන්ධයාගේ නිරෝධය වූ නිරුපධිශේෂ පරිනිර්වාණය) දැක මා විසින් ධජයක් නගන ලදි.
3094. මැනැවින් කළ ඒ කර්මය හේතු කොට ගෙණ ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසාවට ගියෙමි.
3095. මම තුන්සිය වරක් දිව්යරාජ්යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.