342. තිඋප්පලමාලිය ස්ථවිරාවදානය
3084. මම එකල්හි චන්ද්රභාගා නදීතීරයෙහි වඳුරෙක් වීමි. කඳු අතුරෙහි වැඩහුන් කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
3085. දස දික් බබුළුවන පිපී ගිය උතුම් සල්රුකක් වැනි (දෙතිස් මහා පුරිස්) ලකුණින් අසූ අනුව්යඤ්ජනයන්ගෙන් යුත් බුදුරජුන් දැක තුටු වීමි.
3086. ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්රීතියෙන් පිනාගියෙමි. උපුල් මල් තුණක් මතුයෙහි නගා පිදීමි.
3087. විපස්සී බුදුරජුන්හට මේ මල් පුදා ගෞරව සහිතව ගොස් උතුරුදිග බලා ගියෙමි.
3088. පැහැදි සිතින් හැකිළී යන්නෙම් ගලතුර වැටී ජීවිතක්ෂයට පැමිණියෙමි.
3089. මැනැවින් කරණ ලද ඒ කර්මය හේතු කොට ගෙණ ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද, මිනිස් සිරුර හැර මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
3090. මම තුන්සියක් වර දිව්යරාජ්යය කෙළෙමි. පන්සියක් වර සක්විති රජ වීමි.
3091. මෙයින් අනූඑක්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කරණ ලද ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජායෙහි මේ විපාකයි.
3092. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිඋප්පලමාලිය ස්ථවිරාවදානය දෙවැනි යි.
343. ධජදායක ස්ථවිරාවදානය
3093. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ තිස්ස නම් ශාස්තෘ තෙමේ ලොව පහළ විය. උන්වහන්සේගේ උපධික්ෂය (=ස්කන්ධොපධි සඞ්ඛ්යාත පඤ්චස්කන්ධයාගේ නිරෝධය වූ නිරුපධිශේෂ පරිනිර්වාණය) දැක මා විසින් ධජයක් නගන ලදි.
3094. මැනැවින් කළ ඒ කර්මය හේතු කොට ගෙණ ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසාවට ගියෙමි.
3095. මම තුන්සිය වරක් දිව්යරාජ්යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
3096. මා ලත් ප්රදේශ රාජ්යය (මෙ පමණයයි) ගිණිය නො හැකිය. පෙර තමා විසින් මොනොවට කළ ස්වකීය කර්මඵලය අනුභව කරමි.
3097. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ධජදානයාගේ මේ විපාක යි.
3098. අද මම කැමැත්තෙම් නම් කඳු වන සහිත වූ ලෝකය කොමුපිළියෙන් වසන්නෙමි. මේ එදා මා විසින් කළ කමේ විපාක යි.
3099. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ධජදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
344. තිකිඞ්කිණිපූජක ස්ථවිරාවදානය
3100. හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්වතයෙක් ඇත. එහි දී ගස් මුදුනක එල්බුනු පවුල් සිවුරක් (පාංශුකූල චීවරයක්) දිටිමි.
3101. මම එකල්හි සතුටු වූයෙම් කටුකිහිරි මල් තුණක් කඩා සොම්නස් සිතින් පවුල් සිවුර පිදීමි.
3102. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. කටුකිහිරි මල් තුණක් පිදීමෙහි මේ විපාක යි.
3103. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිඞ්කිණිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිකිඞ්කිණිපූජක ස්ථවිරාවදානය සිවුවැනි යි.
345. නළාගාරික ස්ථවිරාවදානය
3104. හිමවතට නුදුරෙහි හාරිත නම් පර්වතයෙක් ඇත. එකල්හි නාරද නම් බුදුරජ තෙම රුක්මුලක වැඩවිසීය.
3105. මම බටකිළියක් කොට එහි තණ (=බටකොළ) සෙවිනි කෙළෙමි. මම සක්මනක් ද පිරිසිදු කොට තථාගතයන් වහන්සේට දිනිමි.
3106. මම තුදුස් කපක් දෙව්ලොව සිත් අලවා විසීමි. සූසැත්තෑ වරක් දිව්යරාජ්ය කරවීමි.