331. ගන්ධධූපිය ස්ථවිරාවදානය
2931. මම සිදුහත් බුදුරජුන්හට සුවඳ දෑ දිනිමි. සමන් මලින් මුසු එය බුදුරජුන්හට නිසි ද වෙයි.
2932. කසුන් ඇගෑවක් මෙන් බබලන නිලුපුල් මලක් මෙන් දිලියෙන ඇවිලෙන ගින්නක් වැනි වූ-
2933. ව්යාඝ්රර්ෂභයකු මෙන් ද අභිජාත කේශරසිංහයකු මෙන් ද ශ්රේෂ්ඨ වූ ශ්රමණයනට අග්ර වූ භික්ෂුසඞ්ඝයා පිරිවාරාගෙණ හුන්නා වූ (එම සිදුහත් බුදුරජුන්)-
2934. දැක සිත පහදවා ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ උත්තරදිශාභිමුඛ ව (උතුරු දෙසට හැරී) ගියෙමි.
2935. සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් සුවඳ දැයක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියත් නො දනිමි. ගන්ධධූප පිදීමෙහි මේ විපාකය යි.
2936. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරාජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ගන්ධධූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ගන්ධධූපියස්ථවිරාවදානය පළමු වැනි යි.
332. උදකපූජක ස්ථවිරාවදානය
2937. දිලියෙන ගින්න බඳුවූ ද ඇවිළගත් අග්නිය වැනිවූ ද අහසෙහි වඩින්නා වූ රන්වන් වූ සම්බුදු රජුන් දුටිමි.
2938. (දැක) මම අතින් දිය ගෙණ අහසෙහි ඉසීමි. මහාවීර වූ කාරුණික වූ සර්වඥ ඍෂි තෙමේ එය පිළිගත්තේ ය.
2939. අහසෙහි වැඩසිටියා වූ පදුමුත්තර නම් ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන මේ ගාථාව වදාළේය:
2940. “මේ ජලදානය හේතුකොට ගෙණ ද මා කෙරෙහි ප්රීතිය උපදවීම හේතුකොට ගෙණ ද කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදනෙහි ය”.
2941. ද්විපදෝත්තම වූ, ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨයන් වහන්ස, එම කර්මය හේතුකොට ගෙණ ජය පරාජය හැර අවලස්ථානය වූ නිවණට පැමිණියෙම් වෙමි.
2942. එක්සිය හැටපස් වන කපෙහි සිවුසයුර හා (සිවුමහ දිවයින් කෙළවර කොට ඇති) පෘථිවියෙහි අධිපති වූ ජනාධිපති වූ සහස්සරාජ නම් වූ තුන් සක්විති රජකෙනෙක් වූහ.
2943. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
උදකපූජක ස්ථවිරාවදානය දෙවැනි යි.
333. පුන්නාගපුප්ඵිය ස්ථවිරාවදානය
2944. වැද්දෙක් වූ මම මහවනයට පිවිස වෙසෙමි. පිපුණු දොඹ ගසක් දැක බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
2945. වස්නි යුතු (එහෙයින් ම) සුවඳැති ඒ මල් නෙලා වැල්ලෙහි සෑයක් කොට බුදුරජුන්හට පිදීමි.
2946. මෙයින් දෙඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2947. මෙයින් එක්අනූවන කපෙහි අඳුරු දුරුකරන්නා වූ සත්රුවනින් යුත් මහත් බල ඇති එක් සක්විති රජෙකිම් වීමි.
2948. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පුන්නාගපුප්ථිය ස්ථවිරාවදානය තෙවැනි යි.