332. උදකපූජක ස්ථවිරාවදානය
2937. දිලියෙන ගින්න බඳුවූ ද ඇවිළගත් අග්නිය වැනිවූ ද අහසෙහි වඩින්නා වූ රන්වන් වූ සම්බුදු රජුන් දුටිමි.
2938. (දැක) මම අතින් දිය ගෙණ අහසෙහි ඉසීමි. මහාවීර වූ කාරුණික වූ සර්වඥ ඍෂි තෙමේ එය පිළිගත්තේ ය.
2939. අහසෙහි වැඩසිටියා වූ පදුමුත්තර නම් ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන මේ ගාථාව වදාළේය:
2940. “මේ ජලදානය හේතුකොට ගෙණ ද මා කෙරෙහි ප්රීතිය උපදවීම හේතුකොට ගෙණ ද කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදනෙහි ය”.
2941. ද්විපදෝත්තම වූ, ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨයන් වහන්ස, එම කර්මය හේතුකොට ගෙණ ජය පරාජය හැර අවලස්ථානය වූ නිවණට පැමිණියෙම් වෙමි.
2942. එක්සිය හැටපස් වන කපෙහි සිවුසයුර හා (සිවුමහ දිවයින් කෙළවර කොට ඇති) පෘථිවියෙහි අධිපති වූ ජනාධිපති වූ සහස්සරාජ නම් වූ තුන් සක්විති රජකෙනෙක් වූහ.
2943. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
උදකපූජක ස්ථවිරාවදානය දෙවැනි යි.
333. පුන්නාගපුප්ඵිය ස්ථවිරාවදානය
2944. වැද්දෙක් වූ මම මහවනයට පිවිස වෙසෙමි. පිපුණු දොඹ ගසක් දැක බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
2945. වස්නි යුතු (එහෙයින් ම) සුවඳැති ඒ මල් නෙලා වැල්ලෙහි සෑයක් කොට බුදුරජුන්හට පිදීමි.
2946. මෙයින් දෙඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2947. මෙයින් එක්අනූවන කපෙහි අඳුරු දුරුකරන්නා වූ සත්රුවනින් යුත් මහත් බල ඇති එක් සක්විති රජෙකිම් වීමි.
2948. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පුන්නාගපුප්ථිය ස්ථවිරාවදානය තෙවැනි යි.
334. ඒකදුස්සදායක ස්ථවිරාවදානය
2949. (එකල්හි) මම හංසවතී නගරයෙහි තෘණහාරකයෙක් (තණ වෙළෙන්දෙක්) වීමි. තෘණහාරක කර්මයෙන් ජීවත් වෙමි. එයින් ම අඹුදරුවන් පෝෂණය කරමි.
2950. සියලු ධර්මයන්ගේ පරතෙරට ගියා වූ ලෝකනායක වූ පදුමුත්තර බුදුරජතෙම (මෝහ නමැති) ගණඳුර නසා ලොව පහළ විය.
2951. එකල්හි ස්වකීය ගෘහයෙහි හිඳ මෙසේ සිතීමි. “බුදුරජතෙම ලොව පහළ විය. මට (උන්වහන්සේහට) දිය යුතු දෙයක් ද නැත.
2952. මේ මාගේ එක ම සළුව යි. මට කිසි දායකයෙක් (දෙන කෙනෙක්) නැත. නිරයෙහි ස්පර්ශය (අපාගතවීම) දුකය. දක්ෂිණාවක් (දාන චේතනාමය කුසල් බිජුවටක්) රෝපණය කරන්නෙමි.”
2953. මම මෙසේ සිතා සිය සිත පැහැදැවීමි. (මා සතු) එක ම වස්ත්රය ගෙණ බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට පිදීමි.
2954. මම එක ම වස්ත්රය දි අත්පොළසන් හඬ පැවැත්වීමි “ඉදින් වීරයන් වහන්ස ඔබ වහන්සේ බුදුවරයෙක් වනසේක් නම් මහාමුනීන් වහන්ස මා සසර සයුරින් එතර කරණු මැන වැ” යි කීමි.
2955. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ දානය පසසමින් මට අනුමෝදනාවක් කෙළේය:
2956. “මේ එකම වස්ත්රදානය හේතු කොට ගෙණ ද චිත්ත ප්රණිධීන් හේතු කොට ගෙණ ද කල්පලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයයි.
2957. ශක්රදේවේන්ද්ර ව සතිස් වරක් දිව්යරාජ්යය කරන්නේ ය. තෙතිස් වරක් සක්විති රජ වන්නේ ය.
2958-2959. කරණු ලබන ප්රදෙශරාජ්ය ( මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නො හැකිය. ඔබ භවයෙහි මිනිස් ලොව හෝ දෙව්ලොව හෝ සැරි සරන්නෙහි නම් රූපසම්පන්න වූ ගුණවත් නො මැඩලියහෙන සිරුරු ඇති (අනුන් විසින්) ගෙණ අවසන් කොට නොලිය හැකි අපමණ වූ වස්ත්ර සම්පත් සිත් වූ පරිදි ලබනෙහිය.”
2960. ධීර වූ පදුමුත්තර නම් බුදුරජ තෙම මෙම වචනය වදාරා ආකාශයෙහි යන හංසරාජයකු මෙන් අහස් නැගුනේය.
2961. දිව්ය වූ හෝ මනුෂ්ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, එකල්හි මාගේ භොග සම්පත්තියෙහි අඩුබවක් නැති. එක වස්ත්රයක් දීමෙහි මේ විපාක යි.
2962. පියවරක් පාසා (පියවිළි අයුරින්) මට වස්ත්ර පහළ වේ වස්ත්රය (වියන්) යට සිටිමි. මාගේ හිස මතුයෙහි නිරතුරුව ම වියනක් වේ.
2963. වන සහිත වූ ද පර්වත සහිත වූ ද චක්රවාට පර්වතය පටන් කොට ඇති ඒ සියල්ල මම කැමැති වන්නෙම් නම් වස්ත්රයෙන් වසන්නෙමි.