328. සුමනාවේලිය ස්ථවිරාවදානය
2888. තාදී ගුණ ඇති ලෝකජ්යේෂ්ඨ වූ වෙස්සභූ භාග්යවතුන් වහන්සේට ඒ සියලු ජනයෝ එක්ව මහා පූජාවක් කෙරෙත්.
2889. මම එකල්හි සුණු පිඩක් සමන් මල්දම් සහිත කොට බුද්ධාසනය ඉදිරියෙහි නගා ලීමි.
2890. “තාදී ගුණ ඇති බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට කවරකු විසින් මේ මල් පුදන ලදදැ” යි සියලු දෙනා එක්ව උතුම් මල් දෙස බලත්.
2891. මම ඒ චිත්තප්රසාදය හේතු කොට ගෙණ නිර්මාණරතී දිව්යාලෝකයෙහි උපන්මි. පෙර තමා විසින් කරණ ලද පුණ්යකර්මය (පිළිබඳ විපාකය) අනුභව කෙළෙමි.
2892. දිව්ය වූ හෝ මනුෂ්ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද (ඒ හැම තන්හි ම) සියලු දෙනාට ප්රිය වෙමි. පුෂ්ප පූජාවෙහි මේ විපාක යි.
2893. සන්හුන් ඉඳුරන් ඇති තවුසනට කයින් හෝ වචනයෙන් හෝ වැලි සිතින් හෝ මා විසින් කළ නින්දාවක් නො දනිමි.
2894. මම එම සුචරිතයෙන් ද, චිත්තප්රණිධි හේතුයෙන් සියලු දෙනා විසින් පුදන ලද්දෙම් වෙමි. (තවුසනට) ආක්රෝශ නො කිරීමෙහි මේ විපාක යි.
2895. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2896. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සහස්සාර නම් සක්විති රජෙකිම් වීමි.
2897. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනාවේලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුමනාවේලිය ස්ථවිරාවදානය අටවැනි යි.
329. පුප්ඵඡත්තිය ස්ථවිරාවදානය
2898-2899. තාදී ගුණ ඇති ලෝකජ්යේෂ්ඨ වූ සත්ත්වයන් නිවණට පමුණුවන්නා වූ සත්යය දේශනා කරන්නා වූ භාග්යවත් වූ සිද්ධාත්ථී බුදුරජුන්හට දියෙහි හටගත් මනරම් නෙළුම් මල් ගෙණවුත් පුෂ්පච්ඡත්රයක් (=මල්කුඩයක්) නගා ලීමි.
2900. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ත්රිවිධ ලෝකය ම අවබෝධ කළ ශාස්තෘ වූ සිද්ධාත්ථි බුදුරජ තෙමේ භික්ෂු සඞ්ඝයා මැද වැඩ හුන්නේ මේ ගාථාව වදාළේය:
2901. “යමෙක් මා කෙරෙහි සිත පහදවා මල් කුඩයක් දැරී ද, හෙතෙම ඒ සිත පැහැදවීම කරණ කොට ගෙණ දුගතියකට නො යයි.”
2902. ලෝකනායක වූ සිද්ධාත්ථි සම්බුදුරජ තෙමේ මෙය වදාරා පිරිස යවා අහසට නැංගේය.
2903. නරදේව වූ බුදුරජුන් අහස් නැඟි කල්හි සේසත ද නැංගේය. බුදුරජුන්ගේ ඉදිරියෙහි මහඟු ඡුත්රය ද යෙයි.
2904. මෙයින් සිවු අනූවන කපෙහි යම් ඡත්රයක් පිදූයෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පච්ඡත්ර පූජාවෙහි මේ විපාක යි.
2905. සූසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ‘ජලසිඛ’ නම් අට සක්විති රජකෙනෙක් වූහ.
2906. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් පුප්ඵඡතතිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පුප්ඵඡතතිය ස්ථවිරාවදානය නවවැනි යි.
330. සපරිවාරඡත්තදායක ස්ථවිරාවදානය
2907. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ අහස් ජලමේඝයක් මෙන් දහම් වහරේ (වැසි) වස්වයි.
2908. අමාපදය (නිවණ) දෙසන්නා වූ සම්බුදුරජුන් දිටිමි. දැක තම සිත පහදවා සිය ගෙට ගියෙමි.
2909. සැරසූ ඡත්රයක් ගෙණ නරෝත්තම වූ බුදුරජුන් වෙත එළඹියෙමි. සතුටු වූයෙම් සොම්නස් සිතින් මම එය අහස්හි නගා ලීමි.
2910. එය මැනවින් සකස් කළ යානයක් මෙන් ද, උතුම් ශ්රාවකයකු මෙන් ද සම්බුදුන් වෙත එළඹ හිස මතුයෙහි උඩ පිහිටියේ ය.
2911. ලොවට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ ලෝකාග්රනායක බුදුරජ තෙමේ භික්ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේය: