329. පුප්ඵඡත්තිය ස්ථවිරාවදානය
2898-2899. තාදී ගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ සත්ත්‍වයන් නිවණට පමුණුවන්නා වූ සත්‍යය දේශනා කරන්නා වූ භාග්‍යවත් වූ සිද්ධාත්‍ථී බුදුරජුන්හට දියෙහි හටගත් මනරම් නෙළුම් මල් ගෙණවුත් පුෂ්පච්ඡත‍්‍රයක් (=මල්කුඩයක්) නගා ලීමි.
2900. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ත‍්‍රිවිධ ලෝකය ම අවබෝධ කළ ශාස්තෘ වූ සිද්ධාත්‍ථි බුදුරජ තෙමේ භික්‍ෂු සඞ්ඝයා මැද වැඩ හුන්නේ මේ ගාථාව වදාළේය:
2901. “යමෙක් මා කෙරෙහි සිත පහදවා මල් කුඩයක් දැරී ද, හෙතෙම ඒ සිත පැහැදවීම කරණ කොට ගෙණ දුගතියකට නො යයි.”
2902. ලෝකනායක වූ සිද්ධාත්‍ථි සම්බුදුරජ තෙමේ මෙය වදාරා පිරිස යවා අහසට නැංගේය.
2903. නරදේව වූ බුදුරජුන් අහස් නැඟි කල්හි සේසත ද නැංගේය. බුදුරජුන්ගේ ඉදිරියෙහි මහඟු ඡුත‍්‍රය ද යෙයි.
2904. මෙයින් සිවු අනූවන කපෙහි යම් ඡත්‍රයක් පිදූයෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පච්ඡත‍්‍ර පූජාවෙහි මේ විපාක යි.
2905. සූසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ‘ජලසිඛ’ නම් අට සක්විති රජකෙනෙක් වූහ.
2906. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් පුප්ඵඡතතිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පුප්ඵඡතතිය ස්ථවිරාවදානය නවවැනි යි.
330. සපරිවාරඡත්තදායක ස්ථවිරාවදානය
2907. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ අහස් ජලමේඝයක් මෙන් දහම් වහරේ (වැසි) වස්වයි.
2908. අමාපදය (නිවණ) දෙසන්නා වූ සම්බුදුරජුන් දිටිමි. දැක තම සිත පහදවා සිය ගෙට ගියෙමි.
2909. සැරසූ ඡත‍්‍රයක් ගෙණ නරෝත්තම වූ බුදුරජුන් වෙත එළඹියෙමි. සතුටු වූයෙම් සොම්නස් සිතින් මම එය අහස්හි නගා ලීමි.
2910. එය මැනවින් සකස් කළ යානයක් මෙන් ද, උතුම් ශ‍්‍රාවකයකු මෙන් ද සම්බුදුන් වෙත එළඹ හිස මතුයෙහි උඩ පිහිටියේ ය.
2911. ලොවට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ ලෝකාග්‍රනායක බුදුරජ තෙමේ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේය:
2912. “යමකු විසින් අලඞ්කාර කරණ ලද මනරම් වූ මේ ඡත‍්‍රය දෙන ලද ද, ඒ චිත්තප‍්‍රසාදයෙන් හෙතෙම දුගතියට නො යයි.
2913. හේ දෙව්ලොවෙහි සත්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දෙතිස් වරක් සක්විති රජ වන්නේ ය.
2914. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
2915. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් ම කොට නිම කළාක් වැනි ඖරස බුද්ධපුත‍්‍රයෙක් ව සියලු ආස‍්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන රහත් ව පිරිනිවෙන්නේ ය.”
2916. වදාරණ ලද ඒ අභීත වචන බුදුරජුන්ගේ හඬ යයි දැන මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැඩියක් ම සතුට ඉපද වීමි.
2917. මිනිස් අත්බව හැර දෙව් අත්බවට පැමිණියෙමි. මට මනරම් වූ උතුම් විමනෙක් පහළ විය.
2918. විමානයෙන් නික්මෙන්නා වූ මට සේසතක් දැරෙයි. එකල්හි (පෙර කඳ පිළිවෙළ) සිහි ලැබීමි. පූවකර්‍මයාගේ මේ විපාක යි.
2919. දෙව්ලොවින් සැවැ මිනිසත් බවට ද පැමිණියෙමි. මින් සත්සිය වන කපෙහි සවරක් සක්විති රජ වීමි.
2920. ඒ මිනිසත් බැවින් සැවැ දෙව්ලොවට පැමිණියෙමි. පිළිවෙළින් (එහි) හැසිරැ නැවත මිනිසත් බවට පැමිණියෙමි.
2921. මවුකුස්හි පිළිසඳ ගත් මට සේසතක් දැරූහ. මම උපතින් සත්හැවිරිදි වූයෙම් සසුන් වන්මි.
2922. වේදපාරප්‍රාප්ත වූ ඒ සුනන්‍ද නම් බමුණු තෙමේ පළිඟු ඡත‍්‍රයක් ගෙණ අග‍්‍රශ‍්‍රාවකයන් වහන්සේට දුන්නේ ය.
2923. මහාවීර වූ ද මහාකථක වූ ද ශාරීපුත්‍රස්ථවිර තෙමේ අනුමෝදනා කෙළේය. උන්වහන්සේගේ අනුමෝදනාව අසා පූර්‍ව කර්‍මය සිහි කෙළෙමි.
2924. ඈඳිලි බැඳගෙණ සිය සිත පැහැදවීමි. පූර්‍ව (කුශල) කර්‍මය සිහි කොට රහත් බවට පැමිණියෙමි.
2925. මම ඒ අස්නෙන් නැගිට දොහොත් මුදුනේ තබා ආදරයෙන් බුදුරජුන් වැඳ මෙම වචන කීමි:
2926. මෙයින් සියක් දහස් වන කපෙහි ලොව්හි හැමට ම උතුම් වූ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළා වූ (ත‍්‍රිවිධ) ලෝකය මැනවින් දත් ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජතෙම (ලොව පහළ විය.)