296. පාදපූජක ස්ථවිරාවදානය
2697. එකල්හි මම හිමවත් පව්වෙහි කිඳුරෙක් වීමි. එහි රන්වන් රස් ඇති උදා හිරු මෙන් බබලන බුදුරජුන් දිටිමි.
2698. (තමා සිටින තැනට) වැඩියා වූ ලෝකනායක වූ ඒ විපස්සී බුදුරජුන් දැක මම සිරිපා මුල සඳුන් ද තුවරලා ද ඉස්සෙමි.
2699. මෙයින් එක්අනූවන කපෙහි යම් ශ්රීපාද පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිරිපා පීදිමෙහි මේ විපාකය යි.
2700. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාදපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පාදපූජක ස්ථවිරාවදානය සවැනි යි.
297. දෙසකිත්තක ස්ථවිරාවදානය
2701. එකල්හි මම උපසාළ්හක නම් බමුණෙක් වීමි. මහවනයට පිවිසි ලෝකජ්යේෂ්ඨ වූ පරම පුරුෂ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ
2702. බුදුරජුන් දැක සිරිපා වැන්දෙමි. පහන් සිත් ඇති මා දැන බුදුරජ තෙම අතුරුදහන් විය.
2703. වනයෙන් නික්ම බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි. (බුදුරජුන් වැඩියා වූ) ඒ දෙසට පසසා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්ගයෙහි සතුටු වීමි.
2704. මෙයින් දෙයානූවන කපෙහි (බුදුරජුන් වැඩියා වූ ඒ) යම් දෙසකට පැසසූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
2705. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසකිත්තක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
දෙසකිත්තක ස්ථවිරාවදානය සත්වැනි යි.
298. සරණගමනිය ස්ථවිරාවදානය
2706. මම හිමවත් පව්වෙහි වැද්දෙක් වීමි. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
2707. මම සම්බුදුරජුන් වෙත එළඹ වතාවත් කෙළෙමි. ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති (=අටලෝදහමින් නොසැලෙන) බුදුවරයන් වහන්සේ සරණ ද ගියෙමි.
2708. මම මෙයින් එක්අනූවන කපෙහි බුදුරජුන් සරණ කොට ගියෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ සරණගමනයෙහි විපාකය යි.
2709. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සරණගමනිය ස්ථවිරාවදානය අටවැනි යි.
299. අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය
2710. එකල්හි නමින් රෝමස නම් වූ මම දානව යයි ප්රකට වූයෙම් වීමි. ඒ මා විසින් විපස්සී බුදුරජුන්හට අඹකැනක් දෙන ලදි.
2711. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් අඹ දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹදනෙහි මේ විපාකය යි.