294. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
2687. හිරු උදාවන්නටත් පෙර ප්රනාදය මහත් විය. (මෙය) මහර්ෂී වූ බුදුරජානන් වහන්සේගේ ලොව පහළවීම යි.
2688. (ගිලන්ව ඇඳෙහි වැතිර සිටි) මම එහි ශබ්දය ඇසීමි. ඒ බුදුරජුන් නො දිටිමි. මරණය ලං වූ කල්හි ද බුද්ධ යන නාමය මෙනෙහි කෙළෙමි.
2689. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් බුද්ධ යන හැඟීමක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවගේ මේ විපාක යි.
2690. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සද්දසඤ්ඤක ස්ථවිරාවදානය සිවුවැනි යි.
295. ගෝසීසනික්ඛේපක ස්ථවිරාවදානය
2691. මා විසින් (භික්ෂුසඞ්ඝයා) අරම් දොරින් නික්මෙන (මඩසහිත) මගෙහි ගවහිස් කබලක් අතුරණ ලදි. (ආජානීය අශ්ව වාහනාදිය ලැබීමෙන්) එකල තමා කළ ස්වකීය කර්මයේ විපාකය විඳිමි. පූර්ව කර්මයාගේ මේ විපාකය යි.
2692. ආජානීය අශ්වයෝ ද වාතවේගයෙන් දුවන වාතජව අශ්වයෝ ද සෛන්ධව (සින්ධුදේශයේ උපන්) අශ්වයෝ ද යන මේ සියලු ශීඝ්රවාහන (සම්පත්) අනුභව කරමි. ගව හිස් කබල (සඞ්ඝයාගේ ගමන් පහසුව සඳහා) දැමීමෙහි මේ විපාකය යි.
2693. පුණ්යකර්මය ආශ්චර්ය්යයි. මා විසින් සරු කෙතෙහි උතුම් පින්කමක් කරණ ලදි. සඞ්ඝයා විෂයයෙහි කරණ ලද උපකාරය සසඳන විට අනික් සත්කාරයක් (එයින්) කලාවකට ද නො අගී.
2694. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් ගව හිස් කබලක් අතුළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ගමන් පහසුව ඇතිවන සේ සඞ්ඝයා සඳහා ගෙරි හිස් කබල) ඇතිරීමේ මේ විපාකය යි.
2695. පන්සැත්තෑවන කපෙහි මහත් බල ඇති අතිශය තෙදවත් සුප්පතිට්ඨිත නම් එක් සක්විති රජෙක් වීමි.
2696. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගෝසීසනික්ඛේපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ගෝසීසනික්ඛේපක ස්ථවිරාවදානය පස්වැනි යි.
296. පාදපූජක ස්ථවිරාවදානය
2697. එකල්හි මම හිමවත් පව්වෙහි කිඳුරෙක් වීමි. එහි රන්වන් රස් ඇති උදා හිරු මෙන් බබලන බුදුරජුන් දිටිමි.
2698. (තමා සිටින තැනට) වැඩියා වූ ලෝකනායක වූ ඒ විපස්සී බුදුරජුන් දැක මම සිරිපා මුල සඳුන් ද තුවරලා ද ඉස්සෙමි.
2699. මෙයින් එක්අනූවන කපෙහි යම් ශ්රීපාද පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිරිපා පීදිමෙහි මේ විපාකය යි.
2700. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාදපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පාදපූජක ස්ථවිරාවදානය සවැනි යි.