22. උපවාන ස්ථවිරාවදානය
865. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ගිනිකඳක් මෙන් බබළා පිරිනිවන් පෑ සේක.
866. මහාජනයා එක් රැස් ව තථාගතයන් වහන්සේ පුදා මැනැවින් සෑයක් කොට සර්‍වඥදේහය (එයට) නැගූහ.
867. එහි ශරීරය පිළිබඳ ආදාහනකෘත්‍යය කොට ධාතු ගෙණාවාහු ය. ඒ සියලු දිව්‍ය මනුෂ්‍යයෝ (එ ම ධාතු නිදන් කොට) බුද්ධස්තූපයක් කළාහු ය.
868. (එ ම ස්තූපයෙහි) පළමු නිම්වළල්ල රන්මුවා ය. දෙවැන්න මිණිමුවා ය. තෙවැන්න රිදීමුවා ය. සිව්වැන්න පළිඟුමුවා ය.
869. එසේ ම පස්වැනි නිම්වළල්ල පියුම්රාමිණිමුවා ය. සවැන්න මැසිරි ගල්මුවා ය. (මේ සියල්ලට) මතුයෙහි (කොටස) සර්‍වරත්නමය ය.
870. ජඝනය (=යට කොටස) මිණිමුවා ය. වේදිකාව රුවන්මුවා ය. (මෙසේ) සෑය සර්‍වස්වර්‍ණමය ය. යොදුනක් උසට පැන නැංගේ ය.
871. එකල්හි එහි දෙවියෝ එක් රැස් ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:) “තාදීගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑයක් කරමු.
872. (ඒ පදුමුත්තරබුදුරජානන් වහන්සේගේ) ධාතු වෙන් වෙන් ව නැත. මුළු සිරුර ම එකට කැටි ව තිබේ. (එබැවින්) අපි මේ සෑයෙහි ම කංචුකයක් කරන්නෙමු ය” (කියා යි).
873. දෙවියෝ (එ ම සෑය) සත්රුවනින් තවත් යොදුනක් වැඩි කළාහු ය. (ඉක්බිති) එ ම සෑය දෙයොදුනක් උස ය. (එහි ආලොකයෙන්) අඳුර ද දුරු කෙරෙයි.
874. එකල්හි නාගයෝ එහි එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේද? යත්:) “ඒ මනුෂ්‍යයෝ ද දෙවියෝ ද බුදුරජානන් වහන්සේට සෑය කළාහු ය.
875. අපි දු පමා නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වෙති. තාදීගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑයක් කරවන්නෙමු” (කියා යි).
876. ඉඳුනිල් ද මහනිල් ද යලි ජෝතිරස නම් මැණික් ද එක් රැස් කොට බුදුරජානන් වහන්සේගේ සෑය වැසූහ.
877. එකල්හි (එය) එපමණකින් සියල්ල මිණියෙන් කරණලද එළිය කරන්නා වූ තුන් යොදුන් උස බුද්ධස්තූපයක් වී ය.
878. එකල්හි ගුරුළෝ ද එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:) ඒ මනුෂ්‍යයෝ ද දෙවියෝ ද නාගයෝ ද බුද්ධස්තූපයක් කළාහු ය.
879. අපි දු පමා නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වූවෝ වෙති. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑයක් කරන්නෙමු.
880. ගුරුළෝ ස්තූපයෙහි සර්‍වමණිමය පිට සැට්ටයක් (=වැස්මක්) කළාහු ය. ඔහු ද බුද්ධස්තූපයෙහි උස යොදුනකින් වැඩි කළාහු ය.
881. සිවුයොදුන් උස (මෙම) බුද්ධස්තූපය බබළයි. උඩට නැගුනු සූර්‍ය්‍යයා මෙන් සියලු දිශාවන් ආලෝක කෙරෙයි.
882-883. එකල්හි කුම්භාණ්ඩයෝ ද (දිව්‍යවිශේෂයෙකි). එහි එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:-) “මනුෂ්‍යයෝ ද දෙවියෝ ද නාගයෝ ද එසේ ම ගුරුළෝ ද වෙන වෙන ම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ට උතුම් සෑයක් කළාහු ය. අපි ප්‍රමත්තයෝ නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වූවෝ වෙති.
884. තාදිගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ට අපි දු සෑයක් කරවන්නෙමු. උස් වූ බුද්ධස්තූපය අපි දු රත්නයන්ගෙන් වසන්නෙමු” (කියායි.)
885. ඔහු ද බුද්ධස්තූපය යලි යොදුනක් (උස) වැඩි කළාහු ය. එකල්හි පස් යොදුන් උස සෑය බබළයි.