286. උපට්ඨාකදායක ස්ථවිරාවදානය
2646. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ද්විපදෝත්තම වූ නරශ්රේෂ්ඨ වූ වීථියට පිවිසෙන බුදුරජුන් (දිටිමි.)
2647. මම (උපස්ථායකයකු) කැඳවා සර්වලෝක හිතෛෂී වූ ඒ සිදුහත් බුදුරජුන් හට මා විසින් (ඒ) උපස්ථායකයා දෙන ලදී.
2648. මහාමුනි වූ සර්වඥ තෙමේ (උපස්ථායකයා) පිළිගෙණ (ආපසු මට පාවා දුනි) ඉක්බිති එම අසුනෙන් නැගිට ප්රාචීන දිශාභිමුඛව (=නැගෙනහිරට මුහුණ ලා) වැඩියේ ය.
2649. මෙයින් සිවුඅනූවනු කපෙහි උපස්ථායකයකු දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (උපස්ථායකදානයෙහි) උවැටැනෙහි මේ විපාක යි.
2650. මෙයින් සත්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති බලසේන නම් සක්විති රජෙකිම් වීමි.
2651. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපට්ඨාකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උපට්ඨාකදායක ස්ථවිරාවදානය සවැනි යි.
287. අපදානිය ස්ථවිරාවදානය
2652. මම මහර්ෂී වූ බුදුරජුන්හට තථාගතයන්ගේ අපදානය පැවැසීමි. පහන් වූයෙම් සියතින් ශ්රීපාදයන් ද හිස නමා වැන්දෙමි.
2653. මෙයින් දෙයානූවන කපෙහි යම් සුගතාපදානයක් පැවසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අපදාන කීර්තනයෙහි (=තථාගතචරිතය පැසසීමෙහි) මේ විපාක යි.
2654. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අපදානිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අපදානිය ස්ථවිරාවදානය සත්වැනි යි.
288. සත්තාහපබ්බජිත ස්ථවිරාවදානය
2655. මා විසින් විපස්සී බුදුරජුන්ගේ ශ්රාවක සඞ්ඝ තෙමේ සත්කාර හා බුහුමන් කරණ ලදුයේ විය. මට ආපදාවක් පැමිණියේ ය. පෙර ඤාතීන් අතර භේදයක් ඇති විය.
2656. මම ඒ උවදුරින් සන්සිඳීම පිණිස බුදුසස්නෙහි රිසියෙන් පැවිදිව සතියක් එහි ඇලුනෙම් විසීමි.
2657. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් හෙයකින් මම් පැවිදි වූයෙම් ද (ඒ පැවිදි වීම හේතු කොට ගෙණ) දුගතියක් නො දනිමි. පැවිද්දෙහි මේ විපාක යි.
2658. මෙයින් සත්සැටවනු කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සුනික්ඛම නම් වූ සත් සක්විති රජකෙනෙක් වූහ.
2659. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තාහපබ්බජිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සත්තාහපබ්බජිත ස්ථවිරාවදානය අටවැනි යි.
289. බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය
2660-2661. මාගේ නම වෙටම්බරී ය. එකල්හි මාගේ පියතෙම මේ ලෝකාග්රනායක වූ බුදුවරු මට දහම් දෙසන්නාහු යයි කියා මාගේ අත ගෙණ බුදුරජුන් වෙත පැමිණ වීය. මම පහන් වූයෙම් සියතින් උන්වහන්සේට මැනවින් උපස්ථාන කෙළෙමි.