277. චිතකපූජක ස්ථවිරාවදානය
2608. මම චන්‍ද්‍රභාගා ගං ඉවුරෙහි යටි ගං බලා යමි. (එහි දී) මාලුව මල් සතක් ගෙණ (වැලිවලින් සෑයක් කොට එම) චිතකයට පිදීමි.
2609. මෙයින් සිවුඅනූවන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
2610. මෙයින් සත්සැටවන කපෙහි සත්රුවනින් යුත් පටිජග්ග යන නම් ඇති සත් සක්විති රජකෙනෙක් වූහ.
2611. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
278. ආලුවදායක ස්ථවිරාවදානය
2612-2613. හිමවත් පව්වෙහි සුදර්‍ශනීය වූ මහාසින්‍ධු නම් නදියකි. පැහැපත් වූ ඉතා සන්හුන් බැව්හි යෙදුනු සුදස්සන නම් රහතන් වහන්සේ දැක විස්මිත වූ සිත් ඇත්තෙම් පහන් සිතින් යුතුව සියතින් ම උන්වහන්සේට අල (කැබැල්ලක්) පිළිගැන් වීමි.
2614. මෙයින් එක්තිස්වන කපෙහි යම් ආලුව දානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආලුව (=අල) දනෙහි මේ විපාකය යි.
2615. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලුවදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආලුවදායක ස්ථවිරාවදානය අටවැනි යි.
279. ඒකපුණ්ඩරීක ස්ථවිරාවදානය
2616. එකල්හි මනා ව්‍රත ඇති සියල්ල තෙමේ ම අවබෝධ කරගත් නමින් රෝමස නම් බුදුවරයෙක් විය. මා විසින් පැහැදි සිතින් (උන්වහන්සේට) පියුමක් දෙන ලදි.
2617. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පියුමක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුණ්ඩරීකදානයාගේ මේ විපාක යි.
2618. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපුණ්ඩරීක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකපුණ්ඩරීක ස්ථවිරාවදානය නවවැනි යි.
280. තරණිය ස්ථවිරාවදානය
2619. මා විසින් ලොවැස්සන්ගේ ගමනාගමනය පිණිස පහන් සිත් ඇත්තේ විසම වූ මහමගෙහි සියතින් ම හෙයක් (=ඒ දණ්ඩක්) කරවන ලදී.
2620. මෙයින් එක්අනූවන කපෙහි මා විසින් යම් හෙයක් කරවන ලද ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හෙය දීමෙහි මේ විපාක යි.
2621. මෙයින් පස්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමෝගධ නම් සක්විති රජෙක් වීමි.
2622. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තරණිය ස්ථවිරාවදානය දසවැනි යි.