278. ආලුවදායක ස්ථවිරාවදානය
2612-2613. හිමවත් පව්වෙහි සුදර්ශනීය වූ මහාසින්ධු නම් නදියකි. පැහැපත් වූ ඉතා සන්හුන් බැව්හි යෙදුනු සුදස්සන නම් රහතන් වහන්සේ දැක විස්මිත වූ සිත් ඇත්තෙම් පහන් සිතින් යුතුව සියතින් ම උන්වහන්සේට අල (කැබැල්ලක්) පිළිගැන් වීමි.
2614. මෙයින් එක්තිස්වන කපෙහි යම් ආලුව දානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආලුව (=අල) දනෙහි මේ විපාකය යි.
2615. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලුවදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආලුවදායක ස්ථවිරාවදානය අටවැනි යි.
279. ඒකපුණ්ඩරීක ස්ථවිරාවදානය
2616. එකල්හි මනා ව්රත ඇති සියල්ල තෙමේ ම අවබෝධ කරගත් නමින් රෝමස නම් බුදුවරයෙක් විය. මා විසින් පැහැදි සිතින් (උන්වහන්සේට) පියුමක් දෙන ලදි.
2617. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පියුමක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුණ්ඩරීකදානයාගේ මේ විපාක යි.
2618. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපුණ්ඩරීක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකපුණ්ඩරීක ස්ථවිරාවදානය නවවැනි යි.
280. තරණිය ස්ථවිරාවදානය
2619. මා විසින් ලොවැස්සන්ගේ ගමනාගමනය පිණිස පහන් සිත් ඇත්තේ විසම වූ මහමගෙහි සියතින් ම හෙයක් (=ඒ දණ්ඩක්) කරවන ලදී.
2620. මෙයින් එක්අනූවන කපෙහි මා විසින් යම් හෙයක් කරවන ලද ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හෙය දීමෙහි මේ විපාක යි.
2621. මෙයින් පස්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමෝගධ නම් සක්විති රජෙක් වීමි.
2622. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තරණිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
සුවණ්ණ තිල මුට්ඨි - චඞ්ගොටබ්භඤ්ජ අඤ්ජලී
පොත්ථක චිත මාලුව - එක පුණ්ඩරීක සෙතු දස
දෙසාළිස් ගයකින් - මෙම වග නිම කරණ ලදි.
පොත්ථක චිත මාලුව - එක පුණ්ඩරීක සෙතු දස
දෙසාළිස් ගයකින් - මෙම වග නිම කරණ ලදි.
ස්වර්ණබිම්බොහන වර්ගය අටවිසිවනු යි.
29. පණ්ණදායක වර්ගය
281. පණ්ණදායක ස්ථවිරාවදානය
2623-2624. මම පර්ණභෝජන අනුභවයෙහි (කොළ බුදීමෙහි) යෙදුනෙම් පන්සලක හුන්නෙම් වෙමි. මුළු ලොවට වෙදකු වැනි වූ ලොව බබුළුවන්නා වූ සිද්ධාර්ත්ථ සර්වඥයන් වහන්සේ (එසේ) හුන් මා වෙත එළඹි සේක. එළඹ කොළ ඇතිරියෙහි වැඩහුන් උන්වහන්සේට (කෑම සඳහා තවන ලද) කොළයක් මා විසින් දෙන ලදි.
2625. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් (කෑමට පිළියෙල කළ) කොළයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පර්ණදානයාගේ මේ විපාක යි.
2626. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පර්ණදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
282. ඵලදායක ස්ථවිරාවදානය
2627. සිනේරු පර්වතය මෙන් ශාන්ත වූ මහමෙර මෙන් ස්ථිර වූ ඒ සිද්ධාර්ත්ථ භාග්යවත් තෙමේ සමාධියෙන් නැගිට පිඬු පිණිස මා වෙත එළඹියේ ය.
2628-2629. අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුලු, බෙලි, බොරළු දමනු යන ගෙඩි දැයි ඒ සියල්ල මුළු ලොවට අනුකම්පා කරන්නා වූ සිදුහත් බුදුරජුන් හට පැහැදි සිතින් මා විසින් දෙන ලදි.
2630. මෙයින් සිවුඅනූවනු කපෙහි වූ එකල්හි යම් පලතුරු දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පලතුරු දනෙහි මේ විපාක යි.
2631. මෙයින් සත්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකජ්ඣ නම් සක්විති රජෙකිම් වීමි.
2632. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඵලදායක ස්ථවිරාවදානය දෙවැනි යි.