231. උදකාසනදායක ස්ථවිරාවදානය
2424. මම අරම් දොරින් නික්ම උත්තමාර්‍ත්‍ථය වූ නිවණට පැමිණීම පිණිස (වැඩහිඳීමට) පුවරුවක් ඇතිරීමි. පැන් ද එළවා තැබීමි.
2425. මෙයින් එක්තිස්වනු කපෙහි දී යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනාමි. අසුන හා දිය එළවා තැබීමෙහි මේ විපාකය යි.
2426. මෙයින් පසළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අභිසාම නම් සක්විති රජෙක් වීමි.
2427. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින්ආයුෂ්මත් උදකාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උදකාසනදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
232. භාජනදායක ස්ථවිරාවදානය
2428. මම එකල්හි බන්‍ධුමතී නගරයෙහි කුම්භකාරයෙක් (=කුඹුලෙක්) වීමි. එකෙණෙහි භික්‍ෂුසඞ්ඝයාට භාජන සැපයීම කෙළෙමි.
2429. මෙයින් එක්අනූවන කපෙහි යම් භාජන සැපයීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භාජන දානයාගේ මේ විපාකය යි.
2430. මෙයින් තෙපණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අනන්තජාලි නම් සක්විත් රජෙක් වීමි.
2431. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භාජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
භාජනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
233. සාලපූපිය ස්ථවිරාවදානය
2432. මම අරුණවතී නගරයෙහි පූප සාදන්නෙක් වීමි. (එකල්හි) මාගේ ගෙදොරින් වඩිනා සිඛී බුදුරජුන් දිටිමි.
2433. මම බුදුරජුන්ගේ පාත්‍රය ගෙණ සම්මග්ගත වූ ඒ බුදුරජානන් වහන්සේට පැහැදි සිතින් හල් පූ දිනිමි.
2434. මෙයින් එක්තිස්වනු කපෙහි මම යම් ඛාද්‍යයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හල් පූ දනෙහි මේ විපාකය යි.
2435. මෙයින් තුදුස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිතඤ්ජල නම් සක්විති රජෙක් වීමි.
2436. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාලුපූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සාලුපූපිය ස්ථවිරාවදානය තෙවැනි යි.