209. ආධාරදායක ස්ථවිරාවදානය
2309. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්හට මා විසින් ආධාරකයක් (පාත්‍රාධාරයක්) පුදන ලදී. මම (ඒ හේතුවෙන්) ධනය සහිත මේ මුළු පොළොව ම දරමි.
2310. මා විසින් සියලු කෙලෙස් දවන ලදී. සියලු භවයෝ වනසන ලදහ. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය ද දරමි.
2311. මෙයින් සත්විසිවනු කපෙහි මහත් බල ඇති සමන්තචරණ නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
2312. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආධාරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආධාරදායක ස්ථවිරාවදානය නවවැනි යි.
210. වාතාතපනිවාරිය ස්ථවිරාවදානය
2313. දෙවියනට දෙවි වූ තාදී ගුණ ඇති තිස්ස බුදුරජුන්හට පැහැදුනු සිතින් එක් ඡත්‍රයක් මා විසින් පුදන ලදී.
2314. ඒ හේතුවෙන් මාගේ පව් වැළැක්කේ විය. (තමා වෙත) කුශලයන්ගේ පැමිණීම විය. අහසෙහි ඡත්‍ර දරත්. පූර්‍ව (ඡත්‍රදානමය ) කර්‍මයාගේ මේ විපාකය යි.
2315. (මා විසින්) සියලු භවයෝ නසන ලදහ. මෙය මාගේ අන්තිම භවයයි. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය ද දරමි.
2316. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් ඡත්‍රදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඡත්‍රදානයාගේ මේ විපාකය යි.
2317. මෙයින් දෙසැත්තෑවන කපෙහි ජනාධිපති වූ මහානිදාන නම් අට සක්විති රජකෙනෙක් වූහ.
2318. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාතාතපනිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වාතාතපනිවාරිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
කණිකාර මිනෙලි - කිඞ්කිණි සහ තරණ ද
තිග්ගුණ්ඩිපුප්ඵි උදකද - සලලකුරණ්ඩක ද ආධාරක
ආතපවාරි යයි දස - අටසාළිස් ගයින් බැඳී.
කණිකාරපුප්ඵියවර්‍ගය එක්විසිවැනි යි.
22. හත්‍ථි වර්‍ගය
211. හත්‍ථිදායක ස්ථවිරාවදානය
2319. තාදී ගුණ ඇති ද්විපදෝත්තම වූ සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට රාජවාහනයෝග්‍ය වූ උඩට නැගුනු මහත් දළ ඇති ඇත් රජෙක් මා විසින් පුදන ලදි.
2320. (ඒ හේතුවෙන්) නිරුත්තර උත්තමාර්‍ත්‍ථය වූ ශාන්තිපදය අනුභව කරමි. සර්‍වලොකහිතෛෂීන් වහන්සේට මා විසින් අග්‍රදානයක් දෙන ලදී.
2321. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් හස්තිනාගයකු දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හස්තිනාගයා දන් දීමෙහි මේ විපාකය යි.
2322. අට සැත්තෑවන කපෙහි මහත් බල ඇති සමන්තපාසාදික නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
2323. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් හත්‍ථිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
හත්‍ථිදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
212. පානධිදායක ස්ථවිරාවදානය
2324. මම බොහෝ කලක් තපස්කම් කළ වෘද්ධ වූ වඩනාලද සිත් ඇති අරණෙහි වසන ඍෂිවරයකුහට පාවහනක් දුනිමි.
2325. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ පුණ්‍යකර්‍ම හේතුවෙන් සියලු යානයන් (ලබා) පරිභෝග කරමි.
2326. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාවහන් දනෙහි මේ විපාකය යි.
2327. මෙයින් සත්සැත්තෑවනු කපෙහි මහත් බල ඇති සුයාන නම් වූ අට සක්විති රජකෙනෙක් වූහ.
2328. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පානධිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පානධිදායක ස්ථවිරාවදානය දෙවැනි යි.