204. තරණිය ස්ථවිරාවදානය
2285. ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලදසේක් ගංතෙරට එළඹි සේක.
2286. මම මුවවිට දක්වා සමව පිරුණු කපුටුවනට පවා ඉවුරෙහි සිට පැන් පානය කළ හැකි සේ දියෙන් පිරී ගිය තරණය කොට එතර යාම දුෂ්කර වූ (ඒ ගඟින්) ද්විපදෝත්තම වූ බුදුරජුන් ද භික්‍ෂු සඞ්ඝයා ද එතර කරවීමි.
2287. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ගඟින්) තරණය කරවීමෙහි මේ විපාකය යි.
2288. මෙයින් එක්දහස් තෙසියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සබ්ගොගවා නම් පස් සක්විති රජකෙනෙක් වූහ.
2289. මම මේ පශ්චිම භවයෙහි බමුණු කුලයෙහි උපනිමි. යහළුවන් තිදෙනකු සමග ශාස්තෘශාසනයෙහි පැවිදි වීමි.
සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තරණිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
205. නිග්ගුණ්ඩිපුප්ඵිය ස්ථවිරාවදානය
2290. මම විපස්සී බුදුරජානන් වහන්සේගේ ආරාමිකයෙක් වීමි. (ඒ මම) නික මල් ගෙණ බුදුරජානන් වහන්සේට පිදීමි.
2291. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2292. මෙයින් පන්තිස්වන කපෙහි මහත් බල ඇති ජනාධිපති වූ මහාපතාප නම් සක්විති රජෙක් වීමි.
2293. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිග්ගුණ්ඩිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නිග්ගුණ්ඩිපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනියි.
206. උදකදායක ස්ථවිරාවදානය
2294. මම පැහැදුනු ඉඳුරන් ඇති කෙලෙස් කැලඹිලි නැති වළඳන්නා වූ ශ්‍රමණයන් වහන්සේ දැක ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට කළයෙන් දිය ගෙණවුත් දුනිමි.
2295. මම අද පහ වූ සැක ඇතියෙම් පිරිසිදු වූයෙම් නිර්‍මල වූයෙම් වෙමි. (ඒ හේතුවෙන්) භවයෙහි උපදනා කල්හි යහපත් විපාක ඇති වේ.
2296. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් ජලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උදකදානයාගේ මේ විපාකය යි.
2297. මෙයින් එක් සැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විමල නම් සක්විති රජෙක් වීමි.
2298. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උදකදායක ස්ථවිරාවදානය සවැනි යි.