196. කිසලයපූජක ස්ථවිරාවදානය
2241. දවාරවතී නගරයෙහි මාගේ පුෂ්පඋද්යානයෙක් විය. ගස්වල වැඩීමට ජලය සපයන ලිඳෙක් ද එහිම විය.
2242. ස්වබලයෙන් තහවුරු බවට පත් පස්මරුන් දිනූ ඒ සිද්ධාර්ත්ථ බුදුරජහු මට අනුකම්පා කරණුවෝ අහස් මගෙහි වඩිති.
2243. මහර්ෂීන් වහන්සේට පිදීමට සුදුසු අන් කිසිවක් නො දකිමි. මම හෝපළු (දලු) දැක එය ගෙන අහසෙහි දැමීමි.
2244. ඒ අසෝක පල්ලවයෝ වඩින්නා වූ බුදුරජුන් පසුපසින් යෙත්. මම ඒ විස්මය දැක “බුදුරජානන් වහන්සේගේ උදාර බව ආශ්චර්ය්යයැ” යි සිතීමි.
2245. මෙයින් සිවුඅනූවක කපෙහි යම් හෝපළු පිදීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2246. මෙයින් සත්විසිවෙනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකස්සර නම් සක්විති රජෙක් වීමි.
2247. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිසලයපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිසලයපූජක ස්ථවිරාවදානය සවැනියි.
197. තින්දුකදායක ස්ථවිරාවදානය
2248. මම ජවවේගයෙන් යුත් ගිරිදුර්ගයන්හි හැසිරෙන වඳුරෙක් වීමි. (එකල්හි) ගෙඩි හටගත් තිඹිරි ගසක් දැක බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
2249. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ත්රිභවාන්තගත සිද්ධාර්ත්ථ බුදුරජුන් කිහිපදිනක් ම සෙවීමි.
2250. ලෝකයෙහි නිරුත්තර ශාස්තෘ වූ ඒ සිද්ධාර්ත්ථ බුදුරජුහු මාගේ අදහස දැන රහතුන් දහසක් සමග මා වෙත වැඩියහ.
2251. සතුට උපදවා ඒ තිඹිරිගෙඩි ගත් අතැතිව (බුදුරජුන් වෙත) එළඹියෙමි. ශ්රේෂ්ඨ සර්වඥ වූ භාග්යවත්හු එය පිළිගත්හ.
2252. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
2253. සත්පණස්වන කපෙහි සත් රුවනින් ආඪ්ය වූ මහත් බල ඇති උපනන්ද නම් සක්විති රජෙක් වීමි.
2254. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්දුකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තින්දුකදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
198. මුට්ඨිපූජක ස්ථවිරාවදානය
2255. පස්මරුන් දිනූ ලෝකජ්යේෂ්ඨ වූ නරර්ෂභ වූ සුමේධ නම් භගවත්හු පශ්චිම ජනානුකම්පාවෙන් ප්රධන්වීර්ය්යය වැඩුහ.
2256. (දවසෙක) සක්මන්හි යෙදෙන ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති ඒ බුදුරජුන්හට ගිරිනිල් මල්මිටක් පිදීමි.
2257. ඒ චිත්තප්රසාදයෙන් කළ කුසලමූලයෙන් මෙහෙයන ලදුයෙම් කප් තිස්දහසක් මුළුල්ලෙහි දුගතියක නූපනිමි.
2258. දෙදහස් තුන්සිය වන කපෙහි සත්රුවනින් ආඪ්ය වූ මහත් බල ඇති සුනෙල නම් සක්විති රජෙක් වීමි.
2259. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මුට්ඨිපූජකස්ථවිරාවදානය අටවැනි යි.