197. තින්‍දුකදායක ස්ථවිරාවදානය
2248. මම ජවවේගයෙන් යුත් ගිරිදුර්‍ගයන්හි හැසිරෙන වඳුරෙක් වීමි. (එකල්හි) ගෙඩි හටගත් තිඹිරි ගසක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
2249. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ත්‍රිභවාන්තගත සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් කිහිපදිනක් ම සෙවීමි.
2250. ලෝකයෙහි නිරුත්තර ශාස්තෘ වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුහු මාගේ අදහස දැන රහතුන් දහසක් සමග මා වෙත වැඩියහ.
2251. සතුට උපදවා ඒ තිඹිරිගෙඩි ගත් අතැතිව (බුදුරජුන් වෙත) එළඹියෙමි. ශ්‍රේෂ්ඨ සර්‍වඥ වූ භාග්‍යවත්හු එය පිළිගත්හ.
2252. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
2253. සත්පණස්වන කපෙහි සත් රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති උපනන්‍ද නම් සක්විති රජෙක් වීමි.
2254. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්‍දුකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තින්‍දුකදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
198. මුට්ඨිපූජක ස්ථවිරාවදානය
2255. පස්මරුන් දිනූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරර්‍ෂභ වූ සුමේධ නම් භගවත්හු පශ්චිම ජනානුකම්පාවෙන් ප්‍රධන්වීර්‍ය්‍යය වැඩුහ.
2256. (දවසෙක) සක්මන්හි යෙදෙන ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති ඒ බුදුරජුන්හට ගිරිනිල් මල්මිටක් පිදීමි.
2257. ඒ චිත්තප්‍රසාදයෙන් කළ කුසලමූලයෙන් මෙහෙයන ලදුයෙම් කප් තිස්දහසක් මුළුල්ලෙහි දුගතියක නූපනිමි.
2258. දෙදහස් තුන්සිය වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති සුනෙල නම් සක්විති රජෙක් වීමි.
2259. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මුට්ඨිපූජකස්ථවිරාවදානය අටවැනි යි.
199. කිඞ්කණිපුප්ඵිය ස්ථවිරාවදානය
2260. සියල්ල තමන් ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ අපරාජිත වූ සුමඞ්ගල බුදුරජහු විහාරයෙන් නික්ම නුවරට පිවිසියහ.
2261. කොට නිම වූ සියලු බුදුකිස ඇති සර්‍වඥ මුනීහු පිඬු පිණිස හැසිර නුවරින් නික්ම වනතුරෙහි වුසූහ.
2262. (ඒ දවස්) පහන් සිත් ඇත්තෙම් සතුටු වූයෙම් කිඞ්කණිපුෂ්පයන් ගෙණ සියල්ල තමන්ම දතුවා වූ මහර්ෂී වූ බුදුරජුන්හට එළැවීමි.
2263. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2264. මෙයින් සඅනූවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති අපිලාපිය නම් සක්විති රජෙක් වීමි.
2265. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිංකණිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිංකණිපුප්ඵිය ස්ථවිරාවදානය නවවැනි යි.
200. යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය
2266. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පස්මරුන් ජයගත් පසැස් ඇති පදුමුත්තර බුදුරජහු වනයෙන් නික්ම විහාරයට වඩිති.
2267. උතුම් සීනිද්ද මල් දෝතින් ගෙන මෙත්සිත් ඇති තාදී ගුණ යුත් බුදුරජුන් පිදීමි.
2268. ඒ චිත්තප්‍රසාදයෙන් සම්පත් අනුභව කොට මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනෙමි.
2269. මෙයින් පණස්වෙනි කපෙහි මහත් මහත් බල ඇති ජනාධිපති වූ සමිත්තනන්‍දන නම් සක්විති රජෙක් වීමි.
2270. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය දසවැනි යි.