15. පිළින්‍දිවච්ඡ ස්ථවිරාවදානය
728. ලෝකනාථ වූ අග්‍රපුද්ගල වූ ‘සුමේධ’ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති මනා සිත් ඇති මම ස්තූපපූජාවක් කෙළෙමි.
729. යම් ෂඩභිඥ වූ මහාඍද්ධි ඇති ක්‍ෂීණාශ්‍රව කෙනෙක් එහි (වූවාහු ද) මම උන්වහන්සේලා එහි රැස් කරවා සඟබතක් දිනිමි.
730. එකල්හි ‘සුමේධ’ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයෙක් වී ය. නමින් සුමේධ නම් වූ හෙතෙම එකල්හි අනුමෝදනා කෙළේ ය.
731. එ ම (ථුපපූජා කිරීම් වශයෙන් ඇති වූ) චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මම දිව්‍යවිමානයක උපනිමි. අසූසයදහසක් දෙවඟනෝ මාගේ (සිත එහි) ඇලවූහ.
732. එ ම අප්සරාවෝ සියලු කාමයන් කරණ කොට ගෙණ මා අනුව ම පවතිත්. අනික් දෙවියන් (සම්පත්තියෙන්) ඉක්මවමි. මේ (ස්තූපපූජා) පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
733. මම එකල්හි පස්විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති ‘වරුණ’ නම් සක්විතිරජෙක් වීමි.
734. ඒ මනුෂ්‍යයෝ බිජුවට නො වපුරත්. නගුල් (සීසෑම් වශයෙන්) නො පමුණුවනු ලැබේ. අරණයයෙහි නො සෑ බිම්පෙදෙස්හි තෙමේ ම හට ගත් හැල් අනුභව කෙරෙත්.
735. මම එහි රාජ්‍යය කොට නැවත දිව්‍යාත්මභාවයට පැමිණියෙමි. එකල්හි ද මට මෙබඳු ම වූ භෝගසම්පත්ති තොමෝ උපන්නී ය.
736. මිතුරු වූ හෝ පසමිතුරු වූ හෝ සියලු ප්‍රාණීහු මට හිංසා නො කෙරෙත්. සියලු දෙනාහට ම ප්‍රිය වෙමි. මෙය (ස්තූපපූජා) පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
737. එකල මෙයින් එක්දහස්තිස්වන කල්පයෙහි මම යම් දනක් දිනිම් ද, (ඉන්) දුගතියක් නො දනිමි. (ස්තූපයෙහි) සුගන්‍ධාලේපයාගේ (=සුවඳ ගැල්වීමෙහි) ඵලය යි.
738. මේ භද්‍රකල්පයෙහි මම ජනාධිපති වූ මහානුභාව ඇති මහත් බල ඇති එක් සක්විතිරජෙක් වීමි.
739. ඒ මම බොහෝ ජනයා පන්සිල්හි පිහිටුවා සුගතියට ම පමුණුවා දෙවියනට ප්‍රිය වීමි.
740. පටිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘පිලින්‍දිවච්ඡ’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී..
පිළින්‍දිවච්ඡස්ථවිරාපදානය පස්වැනියි.
16. රාහුල ස්ථවිරාවදානය
741. මම ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී ගුණ ඇති ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේට සත්බුමුපහයක කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් අතුළෙමි.
742. දෙපා ඇතියනට අග්‍ර වූ මහාමුනි වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලද සේක් ගඳකිළියට එළඹි සේක.
743. “දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ ශාස්තෘ තෙමේ ගඳකිළිය බබුළුවන්නේ බික්සඟන මැද සිටියේ මේ ගාථාවන් වදාළේ ය:
744. යමකු විසින් මේ සෙනසුන බබුළුවන ලද ද කැටපතක් මෙන් පැහැපත් ඇතිරියක් මැනැවින් අතුරණ ලද ද මම ඔහු (කවරෙක් දැයි) ප්‍රකාශ කරන්නෙමි. (එසේ) ප්‍රකාශ කරන්නා වූ මාගේ වචනය අසවු:
745. “ස්වර්‍ණමය වූ ද රජතමය වූ ද යලි වෙරළුමිණිමුවා වූ ද යම්කිසි සිතට ප්‍රිය ආදාසයෝ වෙත් නම්, (ඒ ආදාසයෝ) පහළ වන්නාහු ය.
746. සූසැට වරක් ශක්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අනතුරු ව දහස්වරක් සක්විතිරජ වන්නේ ය.
747. එක්විසිවන කපෙහි සිවුමහසයුර හා සිවුමහදිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරුරජුන් ජය ගන්නා සුලු වූ ‘විමල’ නම් සක්විති රජෙක් වන්නේ ය.
748. ගඩොළුවලින් නිර්මිත කරණ ලද නගරය රේණුවති නම් වේ. (එය) දිගින් තුන්සියයක් (යොදුන්) වේ. හතරැස්හැඩයෙන් යුතු ය.
749. (එහි) උතුම් වූ කුළුගෙවලින් යුත් සත්රුවනින් අලංකාර කරණ ලද විශ්වකර්‍මයා විසින් නිර්මිත කරණ ලද ‘සුදර්‍ශන’ නම් ප්‍රාසාදයෙක් වන්නේ ය.
750. එය දශවිධශබ්දයෙන් වෙන් නො වූ විද්‍යාධරයන්ගෙන් ගැවසී ගත් දෙවියන්ගේ සුදර්‍ශනනගරය මෙන් වන්නේ ය.
751. එ ම ප්‍රාසාදයාගේ ප්‍රභාව හිරු උදා වන කල්හි විහිදේ. එය නිරතුරු ව ම හාත්පස අටයොදුනක් (තන්හි) බබළන්නේ ය.
752. කල්පලක්‍ෂයකින් මතුයෙහි ‘ඔක්කාක’ කුලයෙහි උපදින්නා වූ නමින් ‘ගෞතම’ නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
753. හෙතෙම කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ, තුෂිතපුරයෙන් චුත ව ගෞතමයන් වහන්සේගේ ඒ ඖරසපුත්‍රයා වන්නේ ය.
754. හෙතෙම ඉදින් ගිහිගෙයි වසන්නේ නම්, සක්විතිරජ වන්නේ ය. තාදීගුණ ඇතියෙක් ගිහිගෙයි ඇලීමට පැමිණේ ය යන මේ කරුණ සිදු නො වන්නකි. (හෙවත් සිදු වීමට හේතු නැත්තකි.)
755. සුශික්‍ෂිත වූ (හෙතෙම) ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ ය. නමින් ඒ තෙම ‘රාහුල’ නම් වූ රහත් වන්නේ ය.”