20. සුමඞ්ගල ස්ථවිරාවදානය
796. යාගයක් කරණු කැමැති (දානයක් දෙනු කැමැති) මම බොජුන් පිළියෙල කරවා (ප්රතිග්රාහක වූ ශුද්ධ පැවිදි) බමුණන් සොයමින් විශාල මාළකයෙහි සිටියෙමි.
797-798. ඉක්බිති මහත් යසස් ඇති, සියලු ලෝකයා (නිවණට) පමුණුවන්නා වූ, තමා ම සියල්ල අවබෝධ කළා වූ, අග්රපුද්ගල වූ, ප්රභාසම්පන්න වූ, ශ්රාවකයන් විසින් පිරිවරණ ලද, සූර්ය්යයා මෙන් බබලන, වීථියට පිළිපන් පියදස්සි බුදුරජානන් වහන්සේ දුටුවෙමි.
799. ඇඳිලි බැඳ ස්වකීය චිත්තය පැහැදවීමි. මහාමුනි වූ බුදුරජානන් වහන්සේ (මාගේ නිවෙසට) වඩින සේක්වා යි සිතින් ම ආරාධනා කෙළෙමි.
800. ලෝකයෙහි අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන රහතුන් දහසක් සමග මාගේ ගෙදොරට එළඹි සේක.
801. “පුරුෂශ්රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ පහයට නැගී සිහසුනෙහි වැඩ හිඳුනු මැනව”.
802. දැමුනු සේක් දැමුනු පිරිවර ඇති (සසරින්) එතෙර වූ එතෙර කරන්නවුන් අතුරෙන් උතුම් වූ බුදුරජානන් වහන්සේ පහයට නැගී උතුම් අසුනෙහි වැඩ හුන් සේක.
803. ස්වකීයගෘහයෙහි මට සම්පාදනය කරණලද යම් ආහාරයක් වී ද, පහන් සිත් ඇති මම සියතින් ම බුදුරජානන් වහන්සේට එ ම ආහාර (දානය) දිනිමි.
804. පහන් සිත් ඇත්තෙම් සතුටු වූයේ හටගත් සොම්නස් ඇත්තෙම් කරණ ලද ඇඳිලි ඇත්තෙම් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කරන්නෙමි. බුදුරජානන් වහන්සේගේ උදාරබව ආශ්චර්ය්ය යි.
805. (එහි) වළඳන්නා වූ පර්ය්යුපාසනය කරණ අෂ්ටආර්ය්යපුද්ගලයන් අතුරෙන් රහත්හු ම බොහෝ වූහ. මෙය ඔබ වහන්සේගේ ම අනුභාවය යි. මම (ඔබවහන්සේ) සරණ කොට යෙමි.
806. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ පියදස්සි භාග්යවතුන් වහන්සේ භික්ෂුසංඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක.
807. “ඍජුප්රතිපන්නතාදි ගුණ යුත් සන්සුන් සංඝයා ද තථාගත වූ බුදුරජානන් වහන්සේ ද ඒ යමෙක් වැළඳවී ද, (ඔහු පිළිබඳව) කියන්නා වූ මාගේ වචනය අසවු.
808. හෙතෙම සත්විසිවරක් දිව්යරාජ්යය කරන්නේ ය. පටන් ගත් ස්වකීය කට යුතු ඇති හෙතෙම දිව්යලෝකයෙහි සිත් අලවා වෙසෙයි.
809. හෙතෙම අටළොස්වරක් සක්විතිරජ වන්නේ ය. පන්සිය වරක් පෘථිවියෙහි රාජ්යය ගෙණ පොළොවෙහි වාසය කරන්නේ ය.”
810. ව්යාඝ්රයන් (ව්යාලමෘගයන්) විසින් සෙවුනා ලද මහාවනයට පිවිස වීර්ය්යය කොට මා විසින් කෙලෙස් දවන ලදී.
811. එක්සිය අටළොස්වන කපෙහි වූ එකල්හි යම් දානයක් දිනිම් ද, (එබැවින්) දුගතියක් නො දනිමි. ආහාරදානයාගේ මේ විපාකය යි.
812. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගලස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
සුමඞ්ගලස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
සිහසුන් ද එක්ටැම් - දුන් දෙනම හා නන්ද ද,
සුළුපතු පිළිඳි රාහුල - වංගන්න රටපල් හා.
සෝපාක මංගල ය යි - දසසිරිතකි දෙවන වගැ,
එක්සියඅටතිසෙක් ගී - යෙන් එය මෙහි කියන ලදී.
සුළුපතු පිළිඳි රාහුල - වංගන්න රටපල් හා.
සෝපාක මංගල ය යි - දසසිරිතකි දෙවන වගැ,
එක්සියඅටතිසෙක් ගී - යෙන් එය මෙහි කියන ලදී.
දෙවෙනි සිංහාසනදායකවර්ග යයි.