184. පඤ්චහත්‍ථිය ස්ථවිරාවදානය
2169. ලොවට දෙටු වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් වූ තිස්ස නම් බුදුවරයෙක් විය. (උන්වහන්සේ) සව්වන් විසින් පිරිවරණ ලද්දාහු වීථියට පිළිපන් සේක.
2170. මා විසින් උපුල්මල් මිටි පසක් ද හතරක් ද (හෙවත් උපුල් මිටි නවයක්) තබන ලදී. මම (ඒ මල්) ව්‍රතසිද්ධිය සඳහා බුදුරජුන්හට දෙනු කැමැත්තෙම් (තුබූ තැනින්) ගතිමි.
2171. ඇතුළු වීථියෙහි ගමන් කරන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ බුදුරජුන් (දිටිමි). මම බුදුරැසින් මැනවින් පහස්නා ලද්දෙම් ද වෙමි. ද්විපදෝත්තම වූ ඒ බුදුරජුන් පිදීමි.
2172. මෙයින් දෙයානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2173. මෙයින් තෙළෙස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති උසභ නම් වූ පස් සක්විති කෙනෙක් වූහ.
2174. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්‍ථිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පඤ්චහත්‍ථියස්ථවිරාවදානය සිවුවැනි යි.
185. ඉසිමුග්ගදායක ස්ථවිරාවදානය
2175. උදා වන්නා වූ සූර්‍ය්‍යයා මෙන් ද, (උදා වූ) අතිශයින් දීප්ත රැස් ඇති හිරු මෙන් ද, මල්ගෙඩිදලුවලින් හොබනා කුඹුක්ගසක් මෙන් ද බබලන්නා වූ පදුමුත්තර බුදුරජුන් (දිටිමි.)
2176. ඍෂිමුද්ග (ඍෂීන් පරිභෝග කරණ මුං) අඹරා නිමැසි (මැස්සන් නැති) ඛුද්දක මධු (කණමී) ද (ගෙණ) පහයෙහි සිටියෙම් ම ලෝකබන්‍ධු වූ බුදුරජුන්හට දුනිමි.
2177. එහි අටලක්‍ෂයක් බුද්ධශ්‍රාවකයෝ වූහ. ඒ මුං හා මී ඒ හැමදෙනා වහන්සේගේ ම පාත්‍ර පුරාසිටියේ එයිනුදු වැඩිතරම් විය.
2178. ඒ චිත්තප්‍රසාදය හේතුකොටගෙන කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි (මම) දුගතියක නො උපනිමි.
2179. සතළිස් දහස්වන කපෙහි මහත් බල ඇති ඉසිමුග්ග නම් වූ ඒ අටතිස් සක්විති රජකෙනෙක් වූහ.
2180. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඉසිමුග්ගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඉසිමුග්ගදායකස්ථවිරාවදානය පස්වැනියි.
186. බෝධිඋපට්ඨාක ස්ථවිරාවදානය
2181. මම අමරවතී නගරයෙහි මිහිඟුබෙර වයන්නෙක් වීමි. මම උතුම් බෝධිය වෙතට ගියෙම් නිතර උවටැනෙහි යෙදුනෙම් වෙමි.
2182. උදය සවස එළඹ (උවටැන් කොට) ඒ කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් එක්දහස් අටසිය කපක් මම දුගතියෙක නො උපනිමි.
2183. මෙයින් එක්දහස් පන්සිය වන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මුරජ නම් සක්විතිරජෙක් වීමි.
2184. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බෝධිඋපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බෝධිඋපට්ඨාකස්ථවිරාවදානය සවැනියි.
187. ඒකචින්තික ස්ථවිරාවදානය
2185. යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙවියෙක් දෙව්ලොවින් චුත වේ ද, (එකල්හි) අනුමෝදනය කරන්නා වූ දෙවියන්ගේ ත්‍රිවිධ ශබ්ද කෙනෙක් පිට ව යෙත්. (කෙසේ ද යත්:)
2186. “පින්වත, මෙයින් ච්‍යුත ව මනුෂ්‍යයන්ගේ සහභාවය වූ සුගතියට යනු මැනව. මිනිස් ව සසුනෙහි උතුම් වූ ශ්‍රද්ධාව ලබව.