185. ඉසිමුග්ගදායක ස්ථවිරාවදානය
2175. උදා වන්නා වූ සූර්ය්යයා මෙන් ද, (උදා වූ) අතිශයින් දීප්ත රැස් ඇති හිරු මෙන් ද, මල්ගෙඩිදලුවලින් හොබනා කුඹුක්ගසක් මෙන් ද බබලන්නා වූ පදුමුත්තර බුදුරජුන් (දිටිමි.)
2176. ඍෂිමුද්ග (ඍෂීන් පරිභෝග කරණ මුං) අඹරා නිමැසි (මැස්සන් නැති) ඛුද්දක මධු (කණමී) ද (ගෙණ) පහයෙහි සිටියෙම් ම ලෝකබන්ධු වූ බුදුරජුන්හට දුනිමි.
2177. එහි අටලක්ෂයක් බුද්ධශ්රාවකයෝ වූහ. ඒ මුං හා මී ඒ හැමදෙනා වහන්සේගේ ම පාත්ර පුරාසිටියේ එයිනුදු වැඩිතරම් විය.
2178. ඒ චිත්තප්රසාදය හේතුකොටගෙන කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි (මම) දුගතියක නො උපනිමි.
2179. සතළිස් දහස්වන කපෙහි මහත් බල ඇති ඉසිමුග්ග නම් වූ ඒ අටතිස් සක්විති රජකෙනෙක් වූහ.
2180. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඉසිමුග්ගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඉසිමුග්ගදායකස්ථවිරාවදානය පස්වැනියි.
186. බෝධිඋපට්ඨාක ස්ථවිරාවදානය
2181. මම අමරවතී නගරයෙහි මිහිඟුබෙර වයන්නෙක් වීමි. මම උතුම් බෝධිය වෙතට ගියෙම් නිතර උවටැනෙහි යෙදුනෙම් වෙමි.
2182. උදය සවස එළඹ (උවටැන් කොට) ඒ කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් එක්දහස් අටසිය කපක් මම දුගතියෙක නො උපනිමි.
2183. මෙයින් එක්දහස් පන්සිය වන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මුරජ නම් සක්විතිරජෙක් වීමි.
2184. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බෝධිඋපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බෝධිඋපට්ඨාකස්ථවිරාවදානය සවැනියි.
187. ඒකචින්තික ස්ථවිරාවදානය
2185. යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙවියෙක් දෙව්ලොවින් චුත වේ ද, (එකල්හි) අනුමෝදනය කරන්නා වූ දෙවියන්ගේ ත්රිවිධ ශබ්ද කෙනෙක් පිට ව යෙත්. (කෙසේ ද යත්:)
2186. “පින්වත, මෙයින් ච්යුත ව මනුෂ්යයන්ගේ සහභාවය වූ සුගතියට යනු මැනව. මිනිස් ව සසුනෙහි උතුම් වූ ශ්රද්ධාව ලබව.
2187. “තාගේ ඒ ශ්රද්ධා තොමෝ මනා සේ පවසන ලද සද්ධර්මයෙහි බැසගත්තී හටගත් මුල් ඇත්තී මැනවින් පිහිටියා දිවි ඇතිතාක් නිශ්චල වේවා.
2188. කයින් ද, වචනයෙන් ද, සිතින් ද, බොහෝ කුසල් කොට නිදුක් වූ (ක්ලේශෝපාධි රහිත බැවින්) පිරිසිදු වූ -
2189. (ආත්මභාව සම්පත් හා භවභෝග සම්පත් උපදනා) ඔපධික වූ ඒ බොහෝ කුසල් ද කොට පරිත්යාගයෙන් යුතු ව අනෙක් මිනිසුන් ද බ්රහ්මචර්ය්ය සඞ්ඛ්යාත සද්ධර්මයෙහි පිහිටුවනු මැනව” කියා යි.
2190. යම් කලෙක නුවණැති දෙවිවරු චුත වන්නා වූ දෙවියා දැන ගණිත් ද “දෙව්පුරයට නැවත එනු මැනවැ” යි කියා මේ අනුකම්පාවෙනුදු අනුමෝදනය කෙරෙත්.
2191. දිව්ය සමූහයා රැස් වූ එකල්හි මට සංවේගයෙක් ඇති විය. (කෙසේ ද? යත්:) “මම මෙයින් චුත ව කිනම් යොනියකට (උත්පත්ති වශයෙන්) යන්නෙම් ද” (කියා යි).
2192-2193. වඩන ලද ඉඳුරන් ඇති ශ්රමණයෙක් තෙම මාගේ දුක දැන මා ඒ දුකින් ගොඩනගනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය. එකල්හි ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ සුමන නම් ශ්රාවක තෙම අර්ත්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කොට මා සංවේගයට පත් කෙළේ ය.
2194. මම උන්වහන්සේගේ වචනය අසා බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි. ඒ ප්රාඥයන් වහන්සේට අභිවාදනය කොට මම එහි කලුරිය කෙළෙමි.
2195. ඒ මම එ කී කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් ඒ දෙව්ලොවෙහි උපනිමි. කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
2196. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකචින්තික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකචින්තිකස්ථවිරාවදානය සත්වැනි යි.
188. තිකණ්ණිපුප්ඵිය ස්ථවිරාවදානය
2197. දෙවි වූ මම අප්සරාවන් විසින් පිරිවරණ ලදුයෙම් පෙර කරණ ලද කර්මය සිහි කොට බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
2198. සිහින් මිදිමල් තුණක් ගෙණ සිය සිත පහදවා නරර්ෂභ වූ විපස්සී බුදුරජුන් කෙරෙහි පිදීමි.
2199. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2200. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්ය වූ මහත් බල ඇති රමුත්තම නම් සිවු සක්විතිරජ කෙනෙක් වූහ.
2201. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකණ්ණිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිකණ්ණිපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.