169. සමාදපක ස්ථවිරාවදානය
2093. බන්‍ධුමතී නගරයෙහි මහත් උවසු මුළුවෙක් වූහ. මම ඔවුන්ගේ ගණදෙටු වීමි. ඔහු ද මාගේ සහචරයෝ වූහ.
2094. ඒ සියල්ලන් රැස් කරවා ‘නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයාට මාලකයක් කරවන්නෙමු’යි පින්කමෙහි සම්මාදම් කරවීමි.
2095. මාගේ අදහස් අනුව ගියා වූ ඔහු ‘මැනවැ’යි පිළිවදන් දී ඒ මාලකය නිම වූහ. අපි විපස්සී බුදුරජුන්හට එය දුනුම්හ.
2096. මෙයින් එක් අනූවන කපෙහි වූ එදවස යම් මාලකයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මාලකදානයාගේ මේ විපාකය යි.
2097. එකුන් සැටවන කපෙහි මහත් බල ඇති ජනාධිපති වූ ආදෙය්‍ය නම් වූ සක්විති රජෙක් වීමි.
2098. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සමාදපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සමාදපකස්ථවිරාවදානය නවවැනි යි.
170. පඤ්චඞ්ගුලිය ස්ථවිරාවදානය
2099. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තිස්ස නම් බුදුවරයෙක් විය. මම ශ්‍රේෂ්ඨ විහරණයෙහි දක්‍ෂ වූ ගඳකිළියට පිවිසෙන සර්‍වඥයන් වහන්සේ දිටිමි.
2100. සුවඳමල ගෙණ බුදුරජානන් වහන්සේ වෙතට ගියෙමි. නිශ්ශබ්දව ම බුදුරජුන්ගේ කයෙහි පසඟුල් දිනිමි.
2101. මෙයින් දෙයානූවන කපෙහි යම් සුගන්‍ධ පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පසඟුල් දීමෙහි මේ විපාකය යි.
2102. මෙයින් දෙසැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සයම්පභ නම් සක්විති රජෙක් වීමි.
2103. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චඞ්ගුලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
පඤ්චඞ්ගුලිය ස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
සුපාරිචාරී කණවේරී - ඛජ්ජක දෙසපූජක
කණිකාර සප්පීද ද - යූථිකා දුස්සදායක
මාලද පඤ්චඞ්ගුලික - සිවුපණස් ගයින් බැඳියේ.
සුපාරිචරියවර්‍ගය සතළොස් වැනි යි.
18. කුමුද වර්‍ගය
171. කුමුදමාලිය ස්ථවිරාවදානය
2104. හිමවත් පව්වෙහි මහත් වූ ස්වයංජාත විලෙක් විය. මම් එය අසල උපන් මහ බලැති බිහිසුණු රකුසෙක් වීමි.
2105. ඒ විලෙහි කුමුදු පිපේ. ඔහු රියසක් පමණව හටගණිත්. ඒ මල් නෙලමි. එකල්හි දශබලයන් වහන්සේගේ (සඟ) පිරිසක් වූය.