170. පඤ්චඞ්ගුලිය ස්ථවිරාවදානය
2099. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ තිස්ස නම් බුදුවරයෙක් විය. මම ශ්රේෂ්ඨ විහරණයෙහි දක්ෂ වූ ගඳකිළියට පිවිසෙන සර්වඥයන් වහන්සේ දිටිමි.
2100. සුවඳමල ගෙණ බුදුරජානන් වහන්සේ වෙතට ගියෙමි. නිශ්ශබ්දව ම බුදුරජුන්ගේ කයෙහි පසඟුල් දිනිමි.
2101. මෙයින් දෙයානූවන කපෙහි යම් සුගන්ධ පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පසඟුල් දීමෙහි මේ විපාකය යි.
2102. මෙයින් දෙසැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්ය මහත් බල ඇති සයම්පභ නම් සක්විති රජෙක් වීමි.
2103. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චඞ්ගුලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
පඤ්චඞ්ගුලිය ස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
සුපාරිචාරී කණවේරී - ඛජ්ජක දෙසපූජක
කණිකාර සප්පීද ද - යූථිකා දුස්සදායක
මාලද පඤ්චඞ්ගුලික - සිවුපණස් ගයින් බැඳියේ.
කණිකාර සප්පීද ද - යූථිකා දුස්සදායක
මාලද පඤ්චඞ්ගුලික - සිවුපණස් ගයින් බැඳියේ.
සුපාරිචරියවර්ගය සතළොස් වැනි යි.
18. කුමුද වර්ගය
171. කුමුදමාලිය ස්ථවිරාවදානය
2104. හිමවත් පව්වෙහි මහත් වූ ස්වයංජාත විලෙක් විය. මම් එය අසල උපන් මහ බලැති බිහිසුණු රකුසෙක් වීමි.
2105. ඒ විලෙහි කුමුදු පිපේ. ඔහු රියසක් පමණව හටගණිත්. ඒ මල් නෙලමි. එකල්හි දශබලයන් වහන්සේගේ (සඟ) පිරිසක් වූය.
2106. ද්වීපදෝත්තම වූ නරාසභ වූ අත්ථදස්සී භාග්යවත්හු නෙළූ මල් දැක මා වෙත වැඩියහ.
2107. දෙවියනට දෙවි වූ නරර්ෂභ වූ එළඹ සිටි තථාගතයන් වෙත පැමිණ මල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.
2108. එකල්හි (එහි රැස් වූ) ඒ පිරිස හිමවත කෙළවර දක්වා විය. එතෙක් දුර මල්වියන් ඇති සේක් තථාගතයන් වහන්සේ වැඩි සේක.
2109. එක්දහස් අටසියවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2110. මෙයින් පසළොස්වන කපෙහි මහත් බල ඇති ජනාධිපති වූ සහස්සරථ නම් ඒ සත් සක්විතිරජ කෙනෙක් වූහ.
2111. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුමුදමාලියස්ථවිරාවදානය පළමුවැනි යි.
172. නිස්සෙණිදායක ස්ථවිරාවදානය
2112. ලොවට දෙටු වූ තාදිගුණ ඇති කොණ්ඩඤ්ඤ භාග්යවතුන් වහන්සේට නැගීම සඳහා මා විසින් හිණෙක් කරණ ලදී.
2113. ඒ චිත්තප්රසාදය හේතු කොට ගෙණ සම්පත් වළඳා සම්බුදු සස්නෙහි අන්තිම සිරුර දරමි.
2114. එක්තිස්දහස්වන කපෙහි මහත් බල ඇති සම්බහුල නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
2115. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිස්සෙණිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නිස්සෙණිදායක ස්ථවිරාවදානය දෙවෙනියි.
173. රත්තිපුප්ඵිය ස්ථවිරාවදානය
2116. මම පෙර මහවෙනෙහි (හැසිරෙණ) මුවවැද්දෙක් වීමි. (එකල්හි) දෙවියනට දෙවි වූ නරර්ෂභ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
2117. රතු මල් ඇති පිපුනු කෙළිඳගසක් දැක ඒ මල් නටු සහිතව ම නෙළා ගෙණ බුදුරජුන්හට පිරිනැමීමි.
2118. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකයයි.