157. තිණසූලක ස්ථවිරාවදානය
2027. හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්වතයෙක් විය. එහි සියල්ල තෙමේ ම දැනගත් ලොව හා නො ගැටුනු එක් සිඛී නම් පසේබුදුවරයෙක් වැඩ වෙසෙයි.
2028. බෝලිද්ද මල් ගෙණ ඒ බුදුරජුන්හට පිරිනැමීමි. (ඒ හේතුවෙන්) එකුන්සියදහස් කපක් මුළුල්ලෙහි දුගතියකට නො ගියෙම් වෙමි.
2029. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධරණීරුහ නම් සක්විති රජෙක් වීමි.
2030. ප්රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසූලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
තිණසූලකස්ථවිරාවදානය සත්වැනි යි.
158. නාගපුප්ඵිය ස්ථවිරාවදානය
2031. මන්ත්රයන්හි පරතෙරට ගිය නමින් සවච්ජ නම් වූ බමුණෙක් ස්වකීය ශිෂ්යයන් සමග පර්වතාන්තරයෙහි වෙසෙයි.
2032. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර නම් ඒ සර්වඥ තෙමේ මා (සසරසයුරින්) ගොඩ නගනු කැමැත්තේ මා සමීපයට පැමිණියේ ය.
2033. (පැමිණ) අහසෙහි සක්මන් කරයි. දුමයි. එසේ ම ඇවිලෙයි. (එසේ කොට) මාගේ සතුට දැන ප්රාචීන දිශාභිමුඛ ව වැඩියේ ය.
2034. විස්මය ජනක වූ ලොමුදහ ගන්වන්නා වූ ඒ ආශ්චර්ය්යය දැක නාමල් ගෙණ (උන්වහන්සේ) වැඩියා වූ මගෙහි විසිර වීමි.
2035. මෙයින් සියදහස්වන කපෙහි මම යම් චිත්තප්රසාදයෙකින් මල් විසිරැවීම් ද, ඒ චිත්තප්රසාදය හේතු කොට ගෙණ මම් දුගතියකට නො පැමිණියෙමි.
2036. තුන්දහස් එක්සිය වන කපෙහි සත්රුවනින් ආඪ්ය වූ මහත් බල ඇති මහාරථ නම් සක්විති රජෙක් වීමි.
2037. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
නාගපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.
159. පුන්නාගපුප්ඵිය ස්ථවිරාවදානය
2038. වැද්දෙක් වූ මම මහවනයට පිවිස වෙසෙමි. පිපුනු දොඹ ගසක් දැක බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි.
2039. වැල්ලෙහි සෑයක් කොට ඒ මල් නෙලා ශුභ වූ සුවඳ කැවුනු සුගන්ධවත් ඒ මල් බුදුරජුන්හට පිරිනැමීමි.
2040. මෙයින් පෙර දෙයානූවන කපෙහි යම් මලෙකින් බුදුරජුන් පිදිම් ද, (ඒ පිණින්) දුගතියක් නො දනිමි. මේ බුද්ධපූජාවෙහි ඵලය යි.
2041. මෙයින් එකානූවන කපෙහි සත්රුවනින් ආඪ්ය මහත් බල ඇති තමෝනුද නම් සක්විති රජෙක් වීමි.
2042. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුන්නාගපුප්ඵියස්ථවිරාවදානය නවවැනි යි.
160. කුමුදදායක ස්ථවිරාවදානය
2043. හිමවතට නුදුරෙහි රත්පියුම්වලිනුත් උපුල්වලිනුත් ගැවසී ගත් හෙළපියුමින් වැසුනු මහත් වූ ස්වයංජාත (තෙමේ ම හටගත්) විලෙක් විය.
2044. එකල්හි සිල්වත් වූ බුද්ධිමත් වූ කුසල් අකුසල් මේ මේ ය යි දැන ගැණීමෙහි දක්ෂ වූ කුකුත්ථ නම් පක්ෂියෙක් වීමි.
2045. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට සුදුසු වූ නොහොත් පූජාවන් (රැස්වන) ගෙයක් වැනි වූ මහාමුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ඒ ස්වයංජාත විලට නුදුරෙහි සක්මනෙහි යෙදුනු සේක.
2046. ජලයෙහි හටගත් කුමුදුමලක් කඩා බුදුරජුන් වෙත එළැවීමි. මහාමුනි වූ බුදුරජහු මාගේ අදහස දැන එය පිළිගත්හ.
2047. මම ඒ කුශලමූලයෙන් මෙහෙයන ලද්දෙම් කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
2048. මෙයින් එක්දහස්හයසිය වන කපෙහි මහත් බල ඇති වරුණ නම් ජනාධිපති වූ අට සක්විති රජ කෙනෙක් වූහ.
2049. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුමුදදායකස්ථවිරාවදානය දසවැනි යි.