16. බන්‍ධුජීවක වර්‍ගය
151. බන්‍ධුජීවක ස්ථවිරාවදානය
1993-1994. (උපක්ලේශ විරහිත) චන්‍ද්‍රයා මෙන් නිර්‍මල වූ, (කෙළෙස් කිලිටි නො මැති බැවින්) පිරිසිදු වූ පැහැදුනා වූ, (කෙළෙස් මඩින්) නො කැලඹුනා වූ, නන්‍දීභව සඞ්ඛ්‍යාත තෘෂ්ණාව හා භවය (ඵල විශේෂයෙන් හාත්පසින් ම) ක්‍ෂය කරණ ලද්දා වූ, ත්‍රිවිධ ලෝකයෙහි ඇල්ම නැති කළ ජනසමූහයා කෙලෙස් ගින්නෙන් නිවන්නා වූ සසර සයුරින් එතෙර වූ, එසේ එතෙර වූවන් අතුරෙන් උතුම් ද වූ වෙනෙහි ධ්‍යාන කරන්නා වූ ඒ එකඟ වූ සන්හුන් වූ සිඛී බුදුරජුන් දුටිමි.
1995. මම බඳුවදමල් නූලකින් එල්වා ඒ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි.
1996. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
1997. මෙයින් සත්වැනි කපෙහි මනුජේන්‍ද්‍ර වූ වැඩුනු යසස් ඇති මහබලවත් සමන්තචක්ඛු නම් සක්විති රජෙක් වීමි.
1998. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් බන්‍ධුජීවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
බන්‍ධුජීවකස්ථවිරාවදානය පළමුවැනි යි.
152. තම්බපුප්ඵිය ස්ථවිරාවදානය
1999. අනුනට බැළමෙහෙ කිරීමෙහි යෙදුනා වූ මම අපරාධයක් කෙළෙමි. (ඒ හේතුවෙන්) භයජනක අරමුණුවලින් තැති ගැණුනෙම් වනයට පලාගියෙමි.
2000. පොකුරු බැඳී (=වලුබර) වැනැවින් සැදුණු පිපුණු ගසක් දැක (එහි) තඹවන් මල් ගෙණ බෝධිය සමීපයෙහි ඉසීමි.
2001. ඒ උතුම් පළොල්බෝමුල හැමද ඒ බෝමුලෙහි පලඟ බැඳ (අසරමිණිය ගොතාගෙණ) හුනිමි.
2002. (අපරාධ කොට) මා පලාගිය මග සොයා යන්නෝ මාගේ සමීපයට පැමිණියාහුය. මම එහි ඔවුන් දැක උතුම් බෝධිය සිහිපත් කෙළෙමි.
2003. මම පැහැදි සිතින් බෝධිය වැඳ (යන්නෙම්) බොහෝ තල්රුක් පමණින් ගිණිය යුතු (ගැඹුරු) වූ භයානක ගිරිදුර්‍ගයෙක්හි පතිත වීමි.
2004. මෙයින් එක් අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිපූජාවෙහි මේ විපාක යි.
2005. මම මෙයින් තෙවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුසඤ්ඤත නම් සක්විතිරජෙක් වීමි.
2006. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් තම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තම්බපුප්ඵියස්ථවිරාවදානය දෙවැනි යි.
153. වීථිසම්මජ්ජක ස්ථවිරාවදානය
2007. උදා වන්නා වූ සූර්‍ය්‍යයා මෙන් ද, රන්වන් රැස් ඇති හිරු මෙන් ද, පණුරැසි දින සඳු මෙන් ද, නික්මෙන්නා වූ බුදුරජුන් දිටිමි.
2008. අටසැටදහසක් වූ සියල්ලෝ ක්‍ෂීණාස්‍රවයෝ වූහ. (ඔහු) ද්වීපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් පිරිවැරූහ.
2009. බුදුරජුන් නික්මෙන කල්හි (මම) ඒ වීථිය හැමද එහි පිරිසිදු සිතින් ධජයක් එසවීමි.
2010. මෙයින් එක්අනූවන කපෙහි යම් ධජයක් පිදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධජදානයාගේ මේ විපාක යි.
2011. මෙයින් සිවුවන කපෙහි සර්‍වාකාරයෙන් සම්පූර්‍ණ වූ සුධජ ය යි ප්‍රසිද්ධ රජෙක් වීමි.
2012. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් වීථියසම්මජ්ජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වීථිසම්මජ්ජකස්ථවිරාවදානය තෙවැනි යි.