155. මන්‍දාරවපූජක ස්ථවිරාවදානය
2017. දිව්‍යපුත්‍රයෙකු වූ මම සිඛී බුදුරජුන් පිදීමි. මදාරා මලින් ද ඒ බුදුරජුන් පිදීමි.
2018. සත්දිනක් මුළුල්ලෙහි ම තථාගතයන් කෙරෙහි (පිදූ ඒ) දිව මල් වියනක් (මෙන්) විය. සියලු ජනයෝ එක් ව තථාගතයන් වහන්සේට නමස්කාර කළාහු ය.
2019. මෙයින් එක් තිස්වන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2020. මෙයින් දසවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතින්‍ධර නම් සක්විති රජෙක් වීමි.
2021. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්‍දාරවපූජකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
මන්‍දාරවපූජකස්ථවිරාවදානය පස්වැනි යි.
156. කදම්බපුප්ඵිය ස්ථවිරාවදානය
2022. හිමවතට නුදුරෙහි කුක්කුට නම් පර්‍වතයෙක් විය. ඒ පර්‍වතපාදයෙහි (පසේ) බුදුවරු සත්නමක් වෙසෙත්.
2023. උදා වූ සඳු වැනි ව (බබලන) පිපුනු කොළොම් ගසක් දැක (මල්) දොහොතින් ගෙණ සත් පසේ බුදුවරයන් කෙරෙහි පිදීමි.
2024. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2025. මෙයින් දෙඅනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුප්ඵ නම් වූ සත් සක්විති රජකෙනෙක් වූහ.
2026. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
කදම්බපුප්ඵියස්ථවිරාවදානය සවැනි යි.
157. තිණසූලක ස්ථවිරාවදානය
2027. හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්‍වතයෙක් විය. එහි සියල්ල තෙමේ ම දැනගත් ලොව හා නො ගැටුනු එක් සිඛී නම් පසේබුදුවරයෙක් වැඩ වෙසෙයි.
2028. බෝලිද්ද මල් ගෙණ ඒ බුදුරජුන්හට පිරිනැමීමි. (ඒ හේතුවෙන්) එකුන්සියදහස් කපක් මුළුල්ලෙහි දුගතියකට නො ගියෙම් වෙමි.
2029. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධරණීරුහ නම් සක්විති රජෙක් වීමි.
2030. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසූලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
තිණසූලකස්ථවිරාවදානය සත්වැනි යි.
158. නාගපුප්ඵිය ස්ථවිරාවදානය
2031. මන්ත්‍රයන්හි පරතෙරට ගිය නමින් සවච්ජ නම් වූ බමුණෙක් ස්වකීය ශිෂ්‍යයන් සමග පර්‍වතාන්තරයෙහි වෙසෙයි.
2032. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර නම් ඒ සර්‍වඥ තෙමේ මා (සසරසයුරින්) ගොඩ නගනු කැමැත්තේ මා සමීපයට පැමිණියේ ය.
2033. (පැමිණ) අහසෙහි සක්මන් කරයි. දුමයි. එසේ ම ඇවිලෙයි. (එසේ කොට) මාගේ සතුට දැන ප්‍රාචීන දිශාභිමුඛ ව වැඩියේ ය.
2034. විස්මය ජනක වූ ලොමුදහ ගන්වන්නා වූ ඒ ආශ්චර්‍ය්‍යය දැක නාමල් ගෙණ (උන්වහන්සේ) වැඩියා වූ මගෙහි විසිර වීමි.
2035. මෙයින් සියදහස්වන කපෙහි මම යම් චිත්තප්‍රසාදයෙකින් මල් විසිරැවීම් ද, ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මම් දුගතියකට නො පැමිණියෙමි.
2036. තුන්දහස් එක්සිය වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති මහාරථ නම් සක්විති රජෙක් වීමි.
2037. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
නාගපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.