145. උම්මාපුප්ඵිය ස්ථවිරාවදානය
1961. ලෝවැස්සන්ගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට පාත්ර වූ ලෝකනායක වූ සිද්ධාර්ත්ථ භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මහාචෛත්ය පූජාවක් විය.
1962. සිදුහත් බුදුරජුන්ට පූජාව පවත්නා කල්හි (මම) දියබෙරලිය මල් ගෙණ සෑයට පිදීමි.
1963. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1964. මෙයින් නවවන කපෙහි මහත් බල ඇති සෝමදේව නම් වූ පස්අසූ සක්විති රජකෙනෙක් වූහ.
1965. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් උම්මාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උම්මාපුප්ඵියස්ථවිරාවදානය පස්වැනි යි.
146. අනුලේපදායක ස්ථවිරාවදානය
1966. මම අනෝමදස්සී බුදුරජානන් වහන්සේගේ බෝධියට (පරිමණ්ඩල වූ) වේදිකාවක් කරවීමි. (එසේ ම) මම සුණුයෙන් අලෙව් පිඬු දී (මතියෙන්) මටහම් කෙළෙමි.
1967. ශාස්තෘ වූ අනෝමදස්සී නරශ්රේෂ්ඨ තෙම මැනැවින් කරණ ලද ඒ කර්මය දැක භික්ෂුසංඝයා මැද හිඳ මේ ගාථාව වදාළේ ය.
1968. (මෙතෙම) මේ සුණුවම් හේතු කොට ගෙණ ද චිත්තප්රණිධිය හේතු කොට ගෙණ ද සම්පත් අනුභව කොට දුක් කෙළවර කරන්නේය (කියායි).
1969. (මම) පහන් වූ මුව පැහැ ඇත්තෙම් වෙමි. එකඟ වූයෙම් සන්හුන් වූයෙම් සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
1970. මෙයින් නො අඩුව කප් සියයක් සම්පූර්ණ වූ කල්හි සබ්බඝන නම් සක්විති රජෙක් වීමි.
1971. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් අනුලේපදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අනුලේපදායකස්ථවිරාවදානය සවැනි යි.
147. මග්ගදායක ස්ථවිරාවදානය
1972. පසැස් ඇති බුදුරජ තෙම කුඩා ගඟකින් එතරව වනයට යයි. මම උතුම් ලකුණු ඇති ඒ සිද්ධාර්ත්ථ සම්බුදුරජුන් දිටිමි.
1973. උදැල්ල හා කූඩය ද ගෙණ ඒ මග සම කොට ශාස්තෲන් වහන්සේ වැඳ සියසිත පැහැද වීමි.
1974. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මාර්ගදානයාගේ මේ විපාකය යි.
1975. සත්පණස්වන කපෙහි ජනාධිපති වූ නමින් සුප්පබුද්ධ නම් වූ නරශ්රේෂ්ඨ වූ එක් සක්විති රජෙක් වීමි.
1976. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් මග්ගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මග්ගදායකස්ථවිරාවදානය සත්වැනි යි.