146. අනුලේපදායක ස්ථවිරාවදානය
1966. මම අනෝමදස්සී බුදුරජානන් වහන්සේගේ බෝධියට (පරිමණ්ඩල වූ) වේදිකාවක් කරවීමි. (එසේ ම) මම සුණුයෙන් අලෙව් පිඬු දී (මතියෙන්) මටහම් කෙළෙමි.
1967. ශාස්තෘ වූ අනෝමදස්සී නරශ්‍රේෂ්ඨ තෙම මැනැවින් කරණ ලද ඒ කර්‍මය දැක භික්‍ෂුසංඝයා මැද හිඳ මේ ගාථාව වදාළේ ය.
1968. (මෙතෙම) මේ සුණුවම් හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධිය හේතු කොට ගෙණ ද සම්පත් අනුභව කොට දුක් කෙළවර කරන්නේය (කියායි).
1969. (මම) පහන් වූ මුව පැහැ ඇත්තෙම් වෙමි. එකඟ වූයෙම් සන්හුන් වූයෙම් සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
1970. මෙයින් නො අඩුව කප් සියයක් සම්පූර්‍ණ වූ කල්හි සබ්බඝන නම් සක්විති රජෙක් වීමි.
1971. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් අනුලේපදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අනුලේපදායකස්ථවිරාවදානය සවැනි යි.
147. මග්ගදායක ස්ථවිරාවදානය
1972. පසැස් ඇති බුදුරජ තෙම කුඩා ගඟකින් එතරව වනයට යයි. මම උතුම් ලකුණු ඇති ඒ සිද්ධාර්‍ත්‍ථ සම්බුදුරජුන් දිටිමි.
1973. උදැල්ල හා කූඩය ද ගෙණ ඒ මග සම කොට ශාස්තෲන් වහන්සේ වැඳ සියසිත පැහැද වීමි.
1974. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මාර්‍ගදානයාගේ මේ විපාකය යි.
1975. සත්පණස්වන කපෙහි ජනාධිපති වූ නමින් සුප්පබුද්ධ නම් වූ නරශ්‍රේෂ්ඨ වූ එක් සක්විති රජෙක් වීමි.
1976. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් මග්ගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මග්ගදායකස්ථවිරාවදානය සත්වැනි යි.
148. ඵලකදායක ස්ථවිරාවදානය
1977. පෙර දැවකම්හි මැනැවින් හික්මුනු වඩුවෙක් වීමි. (මම) සඳුන් පුවරුවක් කොට ලෝකබන්‍ධු වූ බුදුරජානන් වහන්සේට දුනිමි.
1978. (ඒ හේතුවෙන්) රනින් නිම වූ මේ විමන බබලයි. හස්තියාන ද අශ්වයාන ද දිව්‍යමය යාන ද එළඹ සිටියේ වෙයි.
1979. ප්‍රාසාදයෝ ද සිවිකාවෝ ද රිසි පමණ උපදිත්. මාහට තහවුරු රුවන් වෙයි. සඳුන් පුවරු දීමෙහි මේ විපාකය යි.
1980. මම මෙයින් එක් අනූවන කපෙහි යම් පුවරු දනක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුවරු දනෙහි මේ විපාකයි.
1981. සත්පණස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නිම්මිත නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
1982. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් ඵලකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඵලකදායකස්ථවිරාවදානය අටවැනි යි.
149. වටංසකිය ස්ථවිරාවදානය
1983. සියල්ල තෙමේ ම දත්තා වූ අපරාජිත වූ නමින් සුමේධ නම් වූ (සර්‍වඥ තෙම) විවෙක සුව වඩනුයේ මහවනයට පිවිසියේ ය.
1984. ලෝකනායකයන් වහන්සේ ඉදිරියෙහි පිපුනු සලල ගසක් දැක කඩා මල්කඩක් ගොතා බුදුරජානන් වහන්සේට පිදීමි.
1985. තිස් දහස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
1986. එකුන්විසිවන කප්සියෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නිම්මිත නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1987. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් වටංසකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වටංසකියස්ථවිරාවදානය නවවැනි යි.
150. පල්ලඞ්කදායක ස්ථවිරාවදානය
1988. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති සුමේධ භාග්‍යවතුන් වහන්සේට උඩුවියන් සහ ඇතිරි සහිත පලගක් මා විසින් දෙන ලදී.
1989. එකල්හි එය සත්රුවනින් යුත් පලගෙක් විය. මාගේ අදහස දැන (ඒ අනුව) හැම කල්හි මට එබඳු (පර්‍ය්‍යඞ්ක) උපදී.