150. පල්ලඞ්කදායක ස්ථවිරාවදානය
1988. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති සුමේධ භාග්‍යවතුන් වහන්සේට උඩුවියන් සහ ඇතිරි සහිත පලගක් මා විසින් දෙන ලදී.
1989. එකල්හි එය සත්රුවනින් යුත් පලගෙක් විය. මාගේ අදහස දැන (ඒ අනුව) හැම කල්හි මට එබඳු (පර්‍ය්‍යඞ්ක) උපදී.
1990. තිස්දහස්වන කපෙහි වූ එකල්හි (යම්) පලගක් දුනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
1991. විසිදහස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුවණ්ණාභ නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
1992. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් පල්ලඞ්කදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පල්ලඞ්කදායකස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
ඡත්ත ථම්භ වේදී පරිවාර උම්මපුප්ඵි
අනුලේප මග්ගදායී ඵලකදායී වටංසක
පල්ලඞ්කදායී වත් දස සපණස්ගයින් බැඳියේ.
ජත්තවර්‍ගය පසළොස්වැනි යි.
16. බන්‍ධුජීවක වර්‍ගය
151. බන්‍ධුජීවක ස්ථවිරාවදානය
1993-1994. (උපක්ලේශ විරහිත) චන්‍ද්‍රයා මෙන් නිර්‍මල වූ, (කෙළෙස් කිලිටි නො මැති බැවින්) පිරිසිදු වූ පැහැදුනා වූ, (කෙළෙස් මඩින්) නො කැලඹුනා වූ, නන්‍දීභව සඞ්ඛ්‍යාත තෘෂ්ණාව හා භවය (ඵල විශේෂයෙන් හාත්පසින් ම) ක්‍ෂය කරණ ලද්දා වූ, ත්‍රිවිධ ලෝකයෙහි ඇල්ම නැති කළ ජනසමූහයා කෙලෙස් ගින්නෙන් නිවන්නා වූ සසර සයුරින් එතෙර වූ, එසේ එතෙර වූවන් අතුරෙන් උතුම් ද වූ වෙනෙහි ධ්‍යාන කරන්නා වූ ඒ එකඟ වූ සන්හුන් වූ සිඛී බුදුරජුන් දුටිමි.
1995. මම බඳුවදමල් නූලකින් එල්වා ඒ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි.
1996. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
1997. මෙයින් සත්වැනි කපෙහි මනුජේන්‍ද්‍ර වූ වැඩුනු යසස් ඇති මහබලවත් සමන්තචක්ඛු නම් සක්විති රජෙක් වීමි.
1998. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් බන්‍ධුජීවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
බන්‍ධුජීවකස්ථවිරාවදානය පළමුවැනි යි.